carrol-trump

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද එරට අධිකරණයකදී  මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට වැරදිකරු බවට පත් විය.
මෙම නඩුවට ට්‍රම්ප් සහභාගී නොවූ අතර ඔහුගේ නීතීඥයෙකු අද දින ජූරි සභාව තීන්දුව ලබාදෙන අවස්ථාවට එක්ව සිටියේය.
නඩු විභාගය අපරාධ අධිකරණයක නොව සිවිල් උසාවියේ පැවති බැවින්, තීන්දුව නිසා ට්‍රම්ප්ට ලිංගික අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි වීමට අවශ්‍ය නොවනු ඇත.
තීන්දුවෙන් පසුව, 76 හැවිරිදි ට්‍රම්ප් මහතා සිය සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සියලුම ලොකු අකුරින් පළ කළේ: “මේ කාන්තාව කවුදැයි මට නිශ්චිතවම අදහසක් නැත. මෙම තීන්දුව නින්දාවකි - මෙතෙක් සිදු වූ ලොකුම රැවටිලිකාරි දඩයම් කිරීමේ සිදුවීම මෙයයි" යනුවෙනි.



මෙම නඩුව ජයගත්තේ ඊ ජීන් කැරොල් නමැති ඇමරිකාවේ පුවත්පත් තීරු ලිපි රචිකාවකි. ඇයට ලිංගික අතවර කළ බව සිවිල් නඩුවේ ජූරි සභාව අවසානයේ තීන්දු කර තිබේ. ඇගේ චෝදනා "ප්‍රෝඩාවක් සහ බොරුවක්" ලෙස හැඳින්වීම හේතුවෙන්ද ට්‍රම්ප් මහතා අපහාසයට වගකිව යුතු බවට ජූරි සභාව තීරණය කළේය.
ට්‍රම්ප් ලිංගික අතවරයකට නීත්‍යානුකූලව වගකිව යුතු බව තහවුරු වූ පළමු අවස්ථාව මෙයයි.
මෑන්හැටන් ජූරි සභාව ට්‍රම්ප් මහතාට ඇයට ඩොලර් මිලියන 5ක් (පවුම් මිලියන 4ක්) පමණ වන්දි ගෙවන ලෙස නියෝග කළේය.

තීන්දුවෙන් පසු ලිඛිත ප්‍රකාශයක් කරමින් කැරොල් මහත්මිය පැවසුවේ “අද ලෝකය අවසානයේ සත්‍යය දැනගත්තා. මෙම ජයග්‍රහණය මට පමණක් නොව මෙවන් ගැටලු නිසා දුක් විඳින සෑම කාන්තාවක් සඳහාම වේ."
මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බව ට්‍රම්ප් මහතාගේ නීතිඥවරයා පැවසීය.