ceb-2670mil-issue

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අනුව රුපියල් කෝටි 154ක මුදලක් 2020 වර්ෂයේදී ද රුපියල් කෝටි 213ක මුදලක් 2021 වර්ෂයේදී ද කාර්ය මණ්ඩල දීමනා වශයෙන් මෙලෙස නීතියට පටහැනිව ගෙවනු ලැබ ඇතැයි එහි දැක්වේ. විදුලිබල මණ්ඩලයේ සේවකයන් 323 දෙනකු සඳහා අමාත්‍ය මණ්ඩල සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ වලට පටහැනිව ගෙවා තිබූ දීමනා ඔවුන්ගේ වැටුපෙන් සියයට 65 සීමාව ඉක්මවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.



කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය සඳහන් කරන්නේ එම සේවක දීමනාව 2022 ජුලි 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 65කට සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.  මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ද විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.  මේ අතර, සේවකයන්ගේ උපයන විට ගෙවන බදු (PAYE) සහ පුද්ගල ආදායම් බදු (APIT) ලෙස සඳහන් රුපියල් කෝටි 400ක මුදලක් මණ්ඩලයේ තීරණයට සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ඔවුන්ගේ වැටුප්වලින් අඩු නොකර මණ්ඩලයේ අරමුදලින් 2010 වර්ෂයේ සිට  2020 වර්ෂය දක්වා කාලයේදී ගෙවා ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.



උපයන විට ගෙවන බද්ද සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද සේවකයන් වෙත මාරු කිරීමට අමාත්‍ය මණ්ඩලය කලින්ම තීරණය කර තිබුණද ඊට පටහැනිව මෙලෙස කටයුතු කර තිබූ බවත් විගණන කාර්යාලය 2015 මැයි 20 දින එළැඹි සාමූහික ගිවිසුම අනුව ද එලෙස කටයුතු කළ යුතුව තිබූ බවත් එහි දැක්වේ. මෙම තොරතුරු සඳහන් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණි.

සුජිත් හේවාජුලිගේ