
පාසල අවසන් වී යළි නිවසට නොගොස් හලාවත නගරයට පැමිණි 13 හැවිරිදි පාසල් සිසුවියක් රවටාගෙන හලාවත මයික්කුලම ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි කියන එම නවාතැන්පොළේ සේවය කරන අයකු හලාවත මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් දෙහැවිරිදි වියේ පසුවන එක් දරු පියෙකි.
මුන්දලම පොලිස් වසමේ පදිංචි මෙම සිසුවිය පාසල් ගොස් යළි නිවසට නොගොස් හලාවත නගරයට පැමිණ සැරිසරමින් සිටිය දී අහම්බෙන් මෙන් මෙම සැකකරුට මුණ ගැසී ඇතැයි පොලීසිය කියයි.මෙම බාලවයස්කාර සිසුවිය මෙම සැකකරුගෙන් නවාතැන් ගැනීමට බෝඩිමක් සොයා දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි කියති. බෝඩිමක් සොයා දිය හැකි බව පවසා සිසුවිය රවටාගෙන ත්‍රිරෝද රථයක නංවාගෙන නවාතැන්පොළට කැඳවාගෙන ගොස් කාමරයක නවාතැන් ගැනීමට පහසුකම් සලසා දී පසුව ඇයට ලිංගික අතවර සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
පසුව මෙම බාලවයස්කාර සිසුවිය හලාවත නගරයට කැඳවාගෙන පැමිණ බස් නැවතුම් පොළේ අතරමං කර දමා සැකකරු පලාගොස් තිබිණි යැයි ද පොලිසිය කීය. මෙම බාලවයස්කාර සිසුවිය හලාවත පොලිසිය තිබෙන ස්ථානය ගැන අසා දැනගෙන ගොස් මේ ගැන පැමිණිලි කර ඇත. සිසුවිය හෙළි කළ තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. ලිංගික අතවරයටකට පත් වූයේ යැයි කියන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රෝහල් ගත කර ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval