child-care-home-advice

දෙමව්පියන් නොසලකා සිටීම හෝ දරුවන් දෙමව්පිය හඬට අවනත නොවීම, ප්‍රධාන සමාජ සංස්ථාවේ පවතින දුර්වලතා හෝ නොසලකා හැරීම් හේතුවෙන්, ළමයින් කායික, මානසික අපහසුතාවන්ට පමණක් නොව, අපයෝජනයන්ටද ලක්වන ප්‍රවණතාව ඉහළ යන බවට මැසිවිල්ලකි. කළුතර සිද්ධියේ චෝදනා යෝජනා විලාප තුළ ඇසෙන්නේද එහි තවත් එක් කතාවකි. මේ හැම කතාවක් සමග නිවසේ අර්බුදය පිළිබඳ අප මධ්‍යම පළාතේ සමාජ සුබසාධන පරිවාස සහ ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චින්තිකා ගුණරත්න මහත්මියගෙන් විමසීමක් කළෙමු.

දෙමව්පිය රැකවරණය නිවස තුළ ලැබිය යුතුය. එසේ නොලැබීම නිසා ළමයින් ළමා නිවාස තුළ රැදවීම යහපත් දෙයක් ලෙස මා දකින්නේ නැත. දුප්පත්කම එයට එක් හේතුවක් විය හැකියි. තවත් සමාජ කාරණාද එයට තිබිය හැකියි. නමුත් එවැනි අවස්ථා ජය ගැනීමට හැකි අවස්ථාවන් සහ භාවිතයන් පිළිබඳ වගකීමෙන් කටයුතු කිරීම දෙමව්පියන් සතුයි.

පවුල තුළ එම පවුලේ සාමාජිකයන් අතරින් ළමයින් අපයෝජනයට ලක්වන පුවත් මාධ්‍ය හරහා වාර්තා වෙයි. එහෙත් ඒ වාර්තා එසේ දැක්වීම කෙතරම් සුදුසුද යන්න විවාදිත කරුණක්. එවැනි දේ සමාප්යට දැනුම් දීම අවශ්‍ය විය හැකියි. එහෙත් එය අනවශ්‍ය ප්‍රචාරයක් හෝ එවැනි සිදුවීම්වලට දෙන අනුබලයක් නම් එය කෙසේ සකස් විය යුතුද යන්න ඒ ඒ අංශ විසින් අවධානය යොමු කළයුතු කරුණක්.



දුප්පත් පවුල් තුළ මෙවැනි අපයෝජන අවස්ථා වැඩියි යනුවෙන් වාර්තා දක්වනවා. එහෙත් එයින් අතමිට ඇති පවුල් තුළ මෙවැනි නොමනා දේ සිදුවන්නේ නැතැයි යන්න නිගනමය කළ නොහැකියි. නමුත් දිළින්දන් අතර සිදුවන මෙවැනි දේ සමාජයීය මට්ටමෙන් හෝ පොලීසිය ඉදිරියේ අනාවරණය වන විට ඒවා ජනගත වන අවස්ථා වැඩියි. පවුල් මට්ටම, පන්තිභේදය කුමක් වුවද ඒවා නොසිදුවිය යුතු සහ සමාජය තුළින්ද වැළැක්වීම හැම පුද්ගලයෙකුටම ඇති වගකීමක්.

මව විදෙස් රැකියාවකට යාමේදී තම ආච්චි භාරයේ සිටි දැරියක් අපයෝජනයට ලක්වූ අවාසනාවන්ත අවස්ථා බහුලයි. එහිදී දරුවාට සමීප බවක් දැක්වීමට යමෙකු නොමැති නිසා, එවැනි දේට ගොදුරු වීම පමණක් නොවෙයි, පළමු අවස්ථාවෙන් පසු ඒවාට ඇබ්බැහි වීමට ඇති ප්‍රවණතාවද වැඩියි. කළ යුත්තේ යමක් සිදුවනතුරු නොසිට ඒවා නොසිදුවන පරිදි අවශ්‍ය රැකවරණය සපයා දීමයි.

අද මාධ්‍ය තුළින් විශේෂයෙන්ම රූපවාහිනිය හෝ මුහුණුපොත නැතහොත් සමාජ මාධ්‍ය හරහා ළමුන්ට නුසුදුසු යැයි සමාජය පිළිගත් දේ දැකිය හැකියි. ඒ තුළ කෙතරම් සැඟවුවත් ඒවා පහසුවෙන් සොයාගත හැකි පරිදි තිබිය හැකිය. නිවස තුළම ඒ දේ නැරඹීමට ඔවුන්ට ඇති අවකාශය බහුලයි. නොහික්මුණු වැඩිහිටියන්ටත් යම් ආකාරයකින් ඒ අනුබලයම ලැබෙනවා. මේ කරුණු දෙමව්පියන් නොදන්නවා නොවෙයි. එහෙත් ඔවුන් දැන දැන එසේ සිදුවන තැනට කරුණු යෙදෙන්නේ නම්, ඒ ගැන දැඩි විපරමක් අවශ්‍යයි.

අද ජංගම දුරකථනයක් නැති ළමයෙක් නැහැ. කෝවිඩ් අර්බුදය සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළ ජංගම දුරකථනය පවා අද ඔවුන්ගේ සමීපතම මිතුරෙක් වෙලා. අද එය ඔවුන්ගෙන් ඉවත් කිරීමට නොහැකියි. ළමයින්ගෙන් මව්පියන් ඈත් වෙලා. ඔවුන්ට අවවාද හෝ මඟපෙන්වීමට

මව්පියන්ට අවස්ථාවක් නැති සමාජ ආර්ථික පරිසරයක දරුවන් තමන්ට සුදුසු යැයි හැගෙන දේ පසුපස හඹායමින් සිටිනවා. අසීමිත නිදහස හානියක්. එහෙත් ඔවුන්ට ලැබිය යුතු නිදහස මව්පියන් තේරුම් කර දිය යුතුයි.

මේ අනුව සන්නිවේදනය තුළින් ඇති කළ ආක්‍රමණශීලී පෙලඹවීම ළමා පරපුරේ මනස ග්‍රහණය කර අවසානයි. එනිසා පවතින රටාව තුළ ඔවුන් එයින් ඉවත්කර ගැනීමට  නොහැකිව තිබෙනවා. එසේ නම් එය අමාරුයි හෝ කළ නොහැකියි සිතා අප කළයුත්තේ කුමක්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. අමාරු වුවත් එය දෙමව්පියන් විසින් කළයුතු වෙනවා.

එසේනම් වයසට නොගැළපෙනවා යැයි අප දකින දෙයින් ළමයින් ඉවත් කිරීමට අවශ්‍ය ස්වයං චර්යාවන් කෙරෙහි දරුවා යොමු කළ යුතුයි. වැඩිහිටියන්ට හැමවිටම දරුවා පසුපස යා නොහැකියි. නමුත් යා යුතුයි.



එවැනි තැනක දරුවා තුළ නොකළ යුතු දේ දමනය කිරීම පිළිබඳ ආකල්පමය වශයෙන් බලපෑමක් ඇති කළ හැකි පුරුද්දක් සඳහා දෙමව්පියන් විසින් පෙලඹවීම කළ හැකියි.

එසේම වෙනස් යමක් අද නිවෙස තුළ දකිනවා. අම්මා තෝරා ගන්නා රූපවාහිනී නාට්‍ය තුළට දරුවාත් ඇතුල් වෙනවා. මවත් සමග දරුවාත් එය නරඹනවා. මෙය ගැඹුරට සිතිය යුතු ප්‍රශ්නයක්. එදා සමාජයේ ළමයින් පූර්වාදර්ශ ලෙස කළ තෝරා ගැනීම් අප සිහිපත් කළ යුතුයි. දරුවාගේ වීරයා අම්මා හො තාත්තා විය හැකියි. එසේනම් ඔවුන් තම දෙමව්පියන්ගේ යහපත් ගුණගරුක ක්‍රියාවන් තෝරාගෙන අනුගමනය කළ නිසා ’දැන්හැදෙන ළමයි එදා ළමයි වගේ නෙවෙයි’ කියන තර්කය මෙහිදී වැදගත් වෙනවා.

මෙහිදී මගේ අදහස වන්නේ පවුල් තුළද අප තෝරාගන්නා දේ දරුවන් තෝරාගත යුතුයි කියන එකයි. එයින් අප තෝරාගන්නා හැමදේම නොව දරුවාගේ යහපත් වර්ධනයට අනුබල දෙන මූලිකාංග විය යුතුයි. ඒ අනුව සෙසු අවශ්‍යතාවන් තෝරා ගැනීමට සහ භාවිතයට ළමයින් යොමු විය හැකියි.

මව්වරුන් පවතින ආර්ථික සමාජ හැසිරීම තුළ විදේශගත වෙනවා. වෙනත් රැකියා සොයා නිවසින් පිටවෙනවා. දරුවා තමාට විශ්වාස යැයි හැගෙන වෙනකෙකු වෙත භාරදෙනවා. එහෙත් ඒ පුද්ගලයා විශ්වාසා වූවාට දරුවා ගැටෙන සෙසු සමාජයන් කෙසේ විය හැකිද? කොහොම හරි මව නිවසින් බැහැර වූ පසු දරුවන් රැක බලා ගැනීමේ වගකීමෙන් තමන් නිදහස් යැයි ඇය සිතනවා. ඇය දරුවා අතහරිනවා. ඇය එම ප්‍රශ්නවලින් මිදෙනවා. නමුත් දරුවා එතැන් පටන් මව නොමැති හෙයින් මවකගේ රැකවරණය නොමැතිව කාලය ගතකරන බව හිතන්නේ නැහැ.

විදෙස්ගත වීම එක් විසඳුමක් විය හැකියි. එහෙත් තිබුණු නීති ටිකක් ලිහිල් වෙලා. මගේ අදහස අවුරුදු 10ක් සම්පූර්ණ වනතුරු දරුවා සමග මවගේ රැකවරණය ලැබිය යුතුයි. මොකද නූතන සමාජයේ ඇසෙන සිදුවීම් අම්මාවරුන්ට දැනෙනවා නම්, ඔවුන් ආර්ථිකයට වඩා දරුවාගේ රැකවරණය පිළිබඳ වැඩියෙන් සිතිය යුතුයි. දරුවාගේ රැකවරණයට අගයක් දිය නොහැකියි.

නිසි වයස සම්පූර්ණව හෝ නැතිව අඩු වයසකින් විවාහ වන අයට විවාහ ජීවිතය පිළිබඳ අත්දැකීම් නැහැ. වරක් තමන් විදේශගත වන බව පවසා එක් මවක් දරුවන් තිදෙනා අපගේ ළමා නිවාසයකට භාරදුන්නා. වසර ගණනාවක් ගතවුවත්, අද දක්වා ඇය ආපසු පැමිණියේ නැහැ. ළමයින් ළමා නිවසයේ රැකවරණ මැද හැදෙනවා. අම්මා නැති විට එතැන පවුල කියන සංස්ථාව නැති වෙනවා. එහෙම වෙනකොට දරුවා අනාරක්ෂිතයි.

එදා ගැහැනියට දරා ගැනීමේ හැකියාව ශක්තිය තිබුණා, අද වැඩි පිරිසකට එවැනි දරා ගැනීමේ ඉවසීමේ ශක්තිය නැහැ. ඔවුන් ඉක්මනින් කෙටි විසඳුම් සොයනවා. දැඩි තීරණ ගන්නවා. පවුල දෙදරා යාමේ විපාකය දරුවන් පිටින් යනවා. අපයෝජනයට අපචාරයට ලක්වන දරුවන්ගෙන් වැඩි පිරිසක් එවැනි පවුල් තුළින් හමුවෙනවා. අනික 'අප පමණක් ළමයින්ගේ අපහසුව විදිය යුතුදැයි’ කාන්තාව ප්‍රශ්න කරනවා. එවැනි තැන්වලදී එය පවුලේ ප්‍රශ්නයක්. නමුත් කන්තාවට පවුල වෙනුවෙන් පැවරී ඇති වගකීමත් කාර්යභාරයත් අමතක කරන්න බැහැ. ඒවා පවුල් සංස්ථාව තුළ ඉවසීමෙන් කළමනාකරණය කරගත යුතුයි.

අපි ජාතියක් හැටියට සම්ප්‍රදායක් තුළ පුරුදු වූ හුරුවීම් තිබුණා. ඒවා එදා පවුල තුළ අම්මාගෙන් අපි උකහා ගත් දේවල් අද වන විට සංකීර්ණ සමාජ්ය තුළ මෙවැනි අවස්ථා විරලයි. එදා දරුවන් කාලය ගත කළේ

අම්මා සමගයි. අද දරුවන් කාලය ගත කරන්නේ මෙවලම් සමගයි. ඒ අය නිතරම ඉන්නේ දුරකථනයේ, ඇතමුන් තමන්ගේ ස්වාමියා දකින්නෙත් කෝපයෙන්. ඔහු ගෙදර හිටියත් ඔහුද ලෝකය සමග දුරකථනයෙන් කාලය ගත කරනවා. බිරිද සහ ස්වාමියා අතර තිබූ සහජීවනය මෙවලම් විසින් ඈත්කරලා. ගේ ඇතුළත සන්නිවේදනයක් නැහැ. එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය නැතිවෙලා. ගරුත්වය නැති තැන ගැටුම් මතු වෙනවා.



එදා දෙමව්පියන් වගේම දරුවාට ගුරුවරයාද සමීපතමයෙකු වුණා. නැතිනම් එදා අපේ ළමා වියේ ගෙදර ප්‍රශ්න කීමට ළමයින් තෝරා ගත්තේ පාසලේ ගුරුතුමියයි. අද ගුරුවරයාත් කලබලකාරී පරිසරයක සාමාජිකයෙකු වෙලා.

පවතින අධිපරිභෝජන රටාව තුළ ඇතැමුත් ඒවා හඹා යාමට උත්සාහ කරනවා. තියෙන දේ අරපිරිමැස්මෙන් භාවිත නොකර, වැඩි වැඩියෙන් මුදල් ඉපැයීමේ ප්‍රවණතාවක් තිබෙන බව පැහැදිලියි. එයින් සිදුවන්නේ නැති ප්‍රශ්න රැසක් තමත් විසින්ම පවුල තුළ නිර්මාණය කරගන්නා

බවයි.අන්න එතනදී ආත්ම දමනය අවශ්‍ය වෙනවා. විනය කියන්නේ එකක්. ආත්ම දමනය කියන්නේ වෙනත් දෙයක්. සාර්ථක පවුල් ජීවිතයකට මේ ආත්ම දමනය කියන දේ අවශ්‍යයි.


මගේ අදහස අනුව ස්ත්‍රී පුරුෂ සමාප්තාවය වැදගත් දෙයක්. ඒ කියන්නේ දෙදෙනා අතර තිඛෙන පවුලේ කළමනාකරණය, පරිපාලනය වෙනුවෙන්

එකිනෙකා අතර තිබෙන වගකීම්, යුතුකම්, රාජකාරී මේ / හැමදෙයක්ම සම සමව බෙදාගැනීමේ අවශ්‍යතාවයි. එවිට එය පවුලට ශක්තියක්.

කාන්තාව නිතරම ඇගයීමට ලක්වෙනවා දකින්න කැමතියි. එතෙනදි දෙදෙනා අතර පවුල තුළ යහපත් සන්නිවේදනයක් තිබිය යුතුයි. රසවත් කෑමක් ඇය අතින් පිළියෙළ වුවත් එය රසයි කියනතුරු ඇය බලා සිටිනවා. යම් දෙයකට ස්වාමියා ඉදිරිපත්ව සහයෝගය දුන්නත්, එයත් ඇය කෙරෙහි දක්වන ඇගයීමක්. එවැනි දේ දකින දරුවන්ද යහපත් දේට පුරුදු වෙනවා. එය හෙට දිනයේ මතු පරපුර වෙනුවෙන් කෙරෙන පූර්වාදර්ශ සැපයීමක්. දුරස්ථ බවට එරෙහිව සමීප වීමේ අවශ්‍යතාව  පවුල තුළ පවතින දුරස් බව සන්නිවේදනයකට බාධා කරනවා. එකිනෙකා සමීප විය යුතුයි. එවිට එකිනෙකා හුදකලා වෙන්නේ නැහැ. හුදකලා බව දැනෙන විට එය පුරවා ගත්ත ළමයින්ද, අඹු සැමියන්ද වෙනත් මාර්ග සොයා යනවා. එනිසා ස්වාමියාත්, බිරිඳත් මෙතෙනදි පරිත්‍යාගශීලී විය යුතුයි. ආවේග පාලනය, ඉවසීම වැදගත්, සියල්ල නොමග ගිය පසු දරුවන් පිළිබද අප අවධානය යොමුකරන විට සිදුවිය යුතු සියල්ල සිදුවී අවසානයි.

නූතන සමාජයේ නව යෞවනයන් අතර සිදුවන විවාහයන් මෙන්ම තරුණ පරපුර අතරද ක්ෂණික හමුවීම්, බැඳීම් වැඩියි. තරුණ ජීවිත තුළ සතුට අපේක්ෂාවන් ඉටුකර ගැනීම විවාහය ලෙස සිතීමට පුරුදු වූ සමාජයක් බිහිව තිබෙනවා. එක SMS පණිවුඩයකින් සම්බන්ධතා නතර වෙනවා. මනෝ ලෝකයන්හි ජීවත් වීම බොහෝ ගැහැනු ළමයින්ගේ සිරිතක්, ඒ දේ සිය විවාහ ජීවිතය තුළ නොලැබෙන විටදී තම ස්වාමියා හෝ දරුවන් අතහැර දමා යනවා. එතැන තියෙන්නේ ආර්ථික අර්බුදය නෙවෙයි. එවැනි අභියෝග භාරගැනීමට නිසි සුදුසුකමක් නොමැතිව විවාහ ජීවිතය තෝරාගැනීම ප්‍රශ්නයක්. සමහරවිට විවාහයට පෙර සැලසුම් කළ දේ කළ නොහැකි වෙයි. එහෙත් ඒ ඉලක්ක කරා යාමට අවශ්‍ය ඉවසීම, සන්නිවේදනය, උත්සාහය, උනන්දුව තිබිය යුතුයි. එතැනයි සාර්ථක විවාහයකට පදනම හැදෙන්නේ.

අද එදාට වඩා දරුවන් නිවසින් බැහැර වන අවස්ථා වැඩියි. ඔවුන් යන්නේ කොහිද? කුමටද? වගේම ඔවුන් කියන දේ සත්‍යදැයි දෙමව්පියන් සොයන අවස්ථා ඇතත්, එසේම සිදුවන්නේ නම් නොයෙක් අපයෝජන, අපචාරයන් ගැන අසන්නට ලැබෙයිද?

සමාජය සුවපත් කිරීමට අවශ්‍ය මනෝ චිකිත්සකයන්ගේ හිඟයක් පවතින බව මම දකිනවා. ඇත්තෙන්ම ළමා නිවාසවලට පවා එවැනි මනෝ චිකිත්සකයන්ගේ සේවයක් ලැබෙන්නේ නැහැ. මගේ ගණනය කිරීම අනුව ළමා නිවාසයන්හි වැඩෙන දරුවන්ගෙන් සියයට පනහක් දෙනා මානසික රෝගයකින් පෙළෙනවා. එතෙනදි අදාළ පාලකයන් හැටියට ආයතනවලටත් කළ හැකි දේ සීමා සහිතයි. එවැනි පහසුකම් වැඩිදියුණු කළ යුතුයි.

මධ්‍යම පළාතේ සමාජ සුබසාධන පරිවාස සහ ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ
කොමසාරිස් චින්තිකා ගුණරත්න මහත්මිය
 සටහන - ලාල් ජයසුන්දර