child-care-issue

දිවයිනේ විවිධ ප්‍රදේශවල ළමා නිවාසවල සිටින බාලවයස්කාර දරුවන් විසිදෙනකු රවටාගෙන රැගෙනවිත් හෙරොයින් පානය කරවා සිඟමනේ යෙදවූ බව කියන තැරැව්කාර කාන්තාවක ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (11) නියෝග කළේය. මෙම සැකකාරියත් ඇයගේ සැමියාත් සිය එකොළොස් හැවිරිදි බාලවයස්කාර දරුවා ළමා නිවාසවලට යවා එහි සිටින දරුවන් සමග මිතුරු වීමට සලස්වා ඔහු ලවා මෙම දරුවන් ගෙන්වා ගෙන ඇති බවත්, පසුව එම බාලවයස්කාර දරුවන්ට බලහත්කාරයෙන් හෙරොයින් පානය කිරීමට සලස්වා ඔවුන්ගේ ශරීරයේ තැනින් තැන පුළුස්සා ඇති බවත් වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



පසුව මෙම සැකකාරිය එම දරුවන් සමඟ පෑලියගොඩ, කැලණිය, වැලිකඩ ආදී ප්‍රදේශවල සිගමන් යදිමින් මුදල් එක්රැස්කර ඇති අතර වැලිකඩ ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අඹේපුස්ස ප්‍රදේශයේ ළමා නිවාසයක එකොළොස් හැවිරිදි දරුවකු ඇය සමග සිට ඇති අතර පොලීසිය කළ විමසීමක දී මෙම තැනැත්තිය තමන්ගේ මව නොවන බව එම දරුවා ප්‍රකාශ කළ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම දරුවා පරීක්ෂා කිරීමේ දී ඔහුගේ දෙඅත්වල, මුහුණේ සහ තට්ටම් ප්‍රදේශ දැඩි ලෙස පුලුස්සා ඇති සැකකාරිය එම තුවාල පෙන්වමින් යාචකයන් සේ සිඟමන් යැද ඇති බවත් පසුව දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙවැනි බාලවයස්කාර දරුවන් විසිදෙනකු තමන් සහ සිය දරුවාත් සැමියාත් සමග උපක්‍රමශීලිව ගෙන්වා ගනිමින් හෙරොයින් පානය කිරීමට සලස්වා පසුව ශරීරයේ යම් යම් ස්ථාන පුළුස්සා සිගමනට  යොදාගත් බව සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවූ බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත්  කර තිබේ.



ඒ අනුව එම දරුවන් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නව නුගේ පාර, පෑලියගොඩ පදිංචි හේවාගේ නිලුකා ප්‍රියදර්ශනී නමැත්තියකි.
නිමන්ති රණසිංහ