children-screen-avoide

පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුණු කරුණු කාරණා අතර දරුවන් සම්බන්ධව විවිධ ඛේදනීය පුවත් වැඩි වශයෙන් විය. එහිදී ජංගම දුරකථන හරහා මෙන්ම විවිධ සමාජ මාධ්‍ය හරහා ඇතිවූ සම්බන්ධතා මගින් මෙන්ම පෙලඹවීම් මගින් දරුවන්  පිළිබඳව විවිධ පුවත් නිර්මාණය වී තිබුණි. මේ වන විට පාසල් අධ්‍යාපනය වෙතද යොමු වී තිබෙන සමාජජාල පහසුකම් නිසා දරුවන්ව ඉන් මුදාගැනීම හෝ සීමා පැනවීම ප්‍රායෝගිකව සිදුකළ හැකි ක්‍රියාවක්ද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.  මෙවැනි ඇබ්බැහිවීම් වෙනුවෙන් දෙමාපියන් වශයෙන් කුමක් කළ යුතුද යන්න පිළිබඳව ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්දුදාස මහතා මෙසේ අදහස් දැක්වීය.

"මේ වන විට දුරකථනයක් අතේ නොමැති දරුවෙක් දකිත්ත නැහැ. හැම දරුවෙකුම අතේ ජංගම දුරකථනයක් තිබෙනවා. හැම දරුවෙක්ම ඔන්ලයින් අධ්‍යාපනයට හුරු වෙලා. විද්‍යුත් තිර මේ වන විට නූතන අධ්‍යාපන ක්‍රමයේ අවශ්‍යම අංගයක් බවට පත්වෙලා තිඛෙනවා. ලංකාවේ පමණක් නෙවෙයි, ලෝකයේ බොහෝ කාලයක සිට මේ මාර්ගගත (online) අධ්‍යාපනය හරහා දරුවන් කුසලතා ලබාගන්නවා. නමුත්මේ විද්‍යුත් තිර භාවිත කිරීමේදී දරුවන් කොට්ඨාසයක් මෙය අනවශ්‍ය ලෙස භාවිත කරමින්, ඇබ්බැහිවීම්වලට යොමු වෙන්න පුළුවන්, උදාහරණයක් ලෙස දැන් බොහෝ දෙමාපියන් කියන කාරණයක් තමයි 'ඔන්ලයින් ඉගෙන ගත්ත අපි දරුවන්ට දුරකථනයක් අරත් දුන්නා. නමුත් අපට තේරෙන්නෙ නෑ ඒකෙ මොනවද වෙන්නේ කියලා’.

ටික දවසකින් 'දරුවා මුළු දවසම ෆෝන් එකේ වීඩියෝ ගේම් සෙල්ලම් කරනවා. අපට ඒක නවත්තන්න තේරෙන්නෙ නෑ.’ කියලා කියනවා. හ

ැබැයි මේ විද්‍යුත් තිරය දරුවාට ලබාදෙන්න කලින් එම දරුවාගේ තිබෙන මනෝමීය කුසලතා අවබෝධ කර ගනිමින් නිවසේ පරිසරය ඒ ආකාරයට හැඩගැසුවා නම් මේ තත්ත්වය ඇතිවෙන්නේ නෑ. මේ විද්‍යුත් තිරය අපට අවශ්‍ය දෙයක්. එය නිවැරදිව භාවිත කිරීම තමයි අපි කළ යුත්තේ.ඒ වගේම මේ විද්‍යුත් තිර භාවිතය ළමුන්ට ලබාදෙන විට දෙමාපියන් හොද අවධානයෙන් සහ සැලකිල්ලෙන් සිටිය යුතුයි. බොහෝ දරුවන්විද්‍යුත් තිර භාවිතයෙන් නිවැරදිව අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන ගියත්, යම් දරුවන් කොට්ඨාසයක් මම ඉහත සදහන් කළ පරිදිමෙය වැරදි ලෙස භාවිත කරනවා. එහිදී අපි දැනගෙන සිටිය යුතුයි කොයි වගේ දරුවන්ද ජංගම දුරකථනය මගින් මෙවැනි අනිසි ඇබ්බැහිවීම්වලට ලක්වෙන්නේ කියන කාරණය.


බොහෝවිට ආවේගශීලී පෞරුෂත්වයක් තිබෙන මෙම පළමු කාණ්ඩයේ දරුවන්, ඒ කියන්නේ ඉතාමත් තරඟ යන, පුංචි දේකින් වුණත් හිත කලබල කරගන්නා දරුවන්. එහෙම ආවේගශීලී තත්ත්වයක් ඇති දරුවන් කුඩා කාලයේ සිටම සම්මා සතිය වැඩීම, ආනාපානසති භාවනාව වැඞීම, මාංස පේශී සැහැල්ලු කිරීමේ ක්‍රම පුංචි කාලයේ සිටම ප්‍රගුණ කර, ඒ ගතිය නව යොවුන් විය වීමට පෙර අඩුකර ගැනීම වඩාත් සුදුසුයි. දෙවැනි කාණ්ඩය තමයි මේ අඩු අවධානයක් තිබෙන දරුවන්. මේ දරුවනුත් පුංචි කාලයේ  එය හඳුතා ගනිමින් මෙය අඩුකර ගත යුතුයි. එය දරුවාට තනිව සිදුකළ නොහැකි  අතර, දෙමවුපියන් දැඩි  අවධානයෙන් මේ පිළිබඳව සිටිය  යුතුයි. තවත් දරුවන් පිරිසක් සිටිනවා නිවස තුළ සීමා මායිම් නොමැතිව හැදෙන. එය නම් දෙමාපිය වරදින්ම සිදුවන දෙයක්. දරුවන් ඉල්ලන ඉල්ලන දේ ලබාදෙමින්, දරුවාට අවශ්‍ය යැයි පවසන සියලුම දේ ලබාගැනීමට පෙලඹෙන දරුවන්. එවැනි දරුවන්ද විද්‍යුත් තිර සදහා වැඩි නැඹුරුවක් ඇති විය හැකියි. 4වන අවස්ථාව තමයි මේ මනෝමීය ඔරොත්තු දීමේ හැකියාව අඩු ළමුන්. එහිදී එම දරුවන් ඉක්මනින් හිත රිදවා ගැනීම, ඉක්මනින් කම්මැලි ගතියක් ඇතිවීමේ ස්වභාවය සහිත දරුවන්ද මේ විද්‍යුත් තිර භාවිතයට නැඹුරු වෙනවා. තමන්ට කම්මැලි ගතියක් ඇති වන විටම එයින් මිදීමට සිංදුවක් අහන්න, එළියට බැහැල ඇවිදින්න, පරිසරය දිහා බලන්න හිත ඔරොත්තු දීමේ හැකියාවට පුරුදු නොවී සිටින දරුවන් ඉක්මනින්ම පරිගණකය, ජංගම දුරකථනයට නැඹුරුවීම සිදුවෙනවා.



අවසාන අවස්ථාව තමයි මේ විශාද තත්ත්වයේ සිටින නව යොවුන්  වියේ දරුවන් නව යොවුන් වියේ දරුවන් සිය දෙනෙක් ගත් විට මින් දහතුනක්, දාසයක් වැනි ප්‍රමාණයකට විශාදය තිබෙනවා. මේ විශාද තත්ත්වය තිබෙන විට නව යොවුන් වියේ දරුවන්ට හරිම හිස් බවක්, එපා වීමක් දැනෙනවා. මේ හිතේ ඇතිවන හිස් බව නැති කරගන්න එවැනි දරුවන් විද්‍යුත් තිරවලට පෙලඹෙනවා. මේ වගේ තත්ත්වයන් කලින් හදුනා ගත්තොත්, අපට එය කලින් වළක්වාගත හැකියි. අපි සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු දෙකට අඩු දරුවන්ට කිසිම විටෙක විද්‍යුත් තිර භාවිතයක් දෙන්න එපා කියලා. මොකද අවුරුදු දෙකට අඩු කාලයේදී මොළයේ ස්නායු ජාලා ඉතා වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වන විට මේ විද්‍යුත් තිරයක් වගේ සාමාන්‍ය පරිසරයක නැති දෙයකින් අනවශ්‍ය උත්තේජනයක් ඇති වීමෙන් විවිධ මනෝ සංකූලතා ඇතිවෙන්න පුළුවන්, අවුරුදු දෙකත් පහත් අතර කාණ්ඩය ගතොත්, සාමාන්‍යයෙන් පැයක පමණ කාලයක් සුදුසු පරිදි විද්‍යුත් තිර භාවිතයට ලබාදීම සුදුසුයි.

මෙහිදී අධ්‍යාපනය සදහා දරුවාට ලබාදෙන විද්‍යුත් තිර කාලය දීර්ඝ වූවාට ප්‍රශ්නයක් නෑ. නමුත් අධ්‍යාපනයෙන් පරිබාහිරව දරුවාට විද්‍යුත් තිර භාවිතයට ලබාදීමේදී පැයක පමණ කාලයක් ලබාදීම වයස අවුරුදු දෙකක් පහත් අතර දරුවෙකුට ප්‍රමාණවත්, මේ පැය තුළදී දරුවාට අවශ්‍ය දෙයක් බැලීමට දෙනවට වඩා දෙමාපියන් දරුවාට නැරඹීමට සුදුසු දෙයක් ලබාදීම වඩාත් වැදගත්. බොහෝ දෙමාපියන් සිදුකරන දෙයක්තමයි කෑම කවාගත්ත අපහසු දරුවන් වෙතට ෆෝන් එක ලබාදීම, කෑම කන විට සම්මා සතිය (සිත මේ මොහොතේ පවත්වා ගැනීම) තිබිය යුතුයි. එහෙම නොවුණ විට විද්‍යුත් තිරයට තිබෙන අවධානයෙන් ආහාර ගැනීමත් සමග බඩගින්නට වැඩියෙට වඩා අධික ප්‍රමාණයක් ආහාර ලබාගැනීම නොදැනුවත්වම සිදුවෙනවා. එවිට අනවශ තරබාරුව, කොලෙස්ටරෝල් වැනි දෑ ඇති විය හැකියි.

මොකද අපේ හිත කෑම සදහා යොමු නොකිරීමෙන් බඩ පිරී තිබුණත්, විද්‍යුත් තිරයට ඇබ්බැහි වීම නිසා නොදැනුවත්වම අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමක් සිදුවෙනවා. එවිට දරුවන්ට විද්‍යුත්තිර පෙන්වා කෑම කැවීමෙන් සිදුවන්නේ ඔවුන් ලොකු වන විට අධික ලෙස ආහාර ගන්නා, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් සහිත දරුවන් බවට පත්වීමයි. ඒ වගේම දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය සදහා විද්‍යුත් තිර අවශ්‍යම වී තිබීම නිසා දෙමාපියන්ට මෙය පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ සදහා එක් පියවරක් ලෙස දරුවන් මාර්ගගත අධ්‍යාපනය ලබන විද්‍යුත් තිරය නිවස මැද තබා තිබීම වැදගත්, බොහෝ දෙමාපියන් කියනවා 'දරුවන් කාමරේමයි, අපි දන්නෙ නෑ එයා මොනව කරනවද කියලා’ එහෙම සිදුකිරීම වැරදියි.


දෙමාපියන් වශයෙන් ඔබ සැමවිටම දරුවා පිළිබඳ හොඳ අවධානයෙන් සිටීමට නම් නිවස තුළ සාලයේ එම පරිගණකය හෝ ජංගම දුරකථනය දරුවාට ලබාදී අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදීම වඩාත් සුදුසුයි. එවිට නිවසේ එහෙට මෙහෙට යන ගමන් දෙමාපියන්ට, ආච්චිට, සීයට ඕනෑම කෙනෙකුට දරුවා මේ මොහොතේ සිදුකරන්නේ මොනවාද කියලා යම් අවබෝධයක් ලබාගත හැකියි. නමුත් ගෙදර අය කෑ නොගසා දරුවාගේ අධ්‍යාපනයට අවධානය ලැඛෙන සේ හයෝගය ලබාදිය යුතුයි. දෙවැනි ක්‍රමය නම් දරුවාට දවසකට දින චර්යාවක් සකසා දී තිබීම වැදගත්. උදේ මල් පූජා කිරීම, පාඩම් කිරීම, සෙල්ලම් කිරීම වැනි දරුවාගේ මනසට සැහැල්ලු වන ආකාරයට දින චර්යාවක් සදහා දරුවා පුරුදු කිරීම තුළින්ද දරුවාව මෙම විද්‍යුත් තිර භාවිතයට ඇබ්බැහි වීම වළක්වාගත හැකියි.

තුන්වන ක්‍රමය තමයි දරුවාට අන්තර්ජාල හසුකම් ලබාදීම තුළින් ඔවුන් සිදුකරන්නේ කුමක්ද යන අවබෝධය දෙමාපියන් තුළ තිබීම. එහිද Internet History බැලීම සුදුසුයි.

එහිදී දෙමාපියන් මෙය බලන්න දන්නෑ කියන  කාරණය ඉතා වැරදියි. දරුවාට තාක්ෂණික මෙවලම් ලබාදෙනවා නම්, දෙමාපියන්ද එය සාමාන්‍ය මට්ටමින් හෝ ඉගෙනගත යුතුයි. එය දෙමාපියන්ගේ වගකීමක්. හතරවන දෙය තමයි දරුවාට කාටුන් නැරඹීමට දෙන වේලාව. සාමාන්‍යයෙන් පැය භාගයක් නම් එය පැය භාගයක් ඉක්මවා යාමෙන් පසුව දරුවා තව පොඩි වේලාවක් නරඹන්න අවසර ඉල්ලනවා නම් එයට අපි කියනවා සීමා මායිම් නම්‍යශීලී කිරීම කියලා, ඒක නම් එච්චර හොද දෙයක් නොවෙයි. ඔබ දෙමාපියන් ලෙස එයට ඉඩ නොදිය යුතුයි. එලෙස දරුවා තව වේලාවක් නැරඹීමට ඉල්ලුවොත් හෝ නැරඹුවොත් අපි එම දරුවාගෙන් එක් වරප්‍රසාදයක් ඉවත් කළ යුතුයි. ඒ කියන්නේ දරුවා කාටුන් බැලීමට ලබාදුන් කාලයට අමතර කාලයක් ඉල්ලා කාටුන් නැරඹුවොත්, අපි ඊළඟ දිනයේ ඒ වේලාවට කාටුන් නැරඹීමට නොදෙන බව කිව යුතුයි. එවිට එම දරුවා නියමිත කාලයට වැඩ කිරීමට පෙලඹෙනවා. ඊළඟ කාරණය නම් දෙමාපියන් දරුවන් ඉස්සරහ විද්‍යුත් තිර භාවිතය අවම කළ යුතුයි. දෙමාපියන් බොහෝ වෙලාවට ගෙදර ඇවිල්ල කෝල් ආන්සර් කරනවා, ඊමේල් චෙක් කරනවා. ඒක එච්චර හොද දෙයක් නොවෙයි. එය දරුවාගේ විද්‍යුතිර භාවිතය වැඩි වීමට පූර්වාදර්ශයක් වෙනවා. ඉතින් මෙන්න මම සඳහන් කළ පියවරයන් අනුගමනය කිරීමෙන් අපිට  පුළුවන් දරුවා විද්‍යුත්තිර භාවිතයට එහෙමත් නැතිනම් දීර්ඝකාලීනව  ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටීම අඩු කර ගැනීමට."

විශේෂඥ වෛද්‍ය මියුරු චන්දුදාස
සටහන - පියුමිකා වීරසූරිය