china-court

චීනයට පිටුවහල් කිරීමට නියම කර ඇති චීන ජාතිකයා මත්ද්‍රව්‍ය චෝදනාවට චීන අධිකරණයෙන් වරෙන්තු ලැබූවකු බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ, චෝදනා ලැබ සිටින චීන ජාතිකයා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.

නීතිඥ අශෝක විජේවර්ධන මහතා මගින් චීන ජාතික ලී පෑන් නමැත්තා විසින් ගොනු කර තිබූ මෙම රිට් පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන්, ආගමන විගමන පාලක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, තම සේවාදායකයා ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර ලබා දෙන ලෙසයි. නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර මහතා කියා සිටියේ, මෙම චීන ජාතිකයාට මත්ද්‍රව්‍ය චෝදනාවකට චීන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවත්,

ඔහුට ආගමන විගමන නිලධාරීන් පහරදුන් බව සඳහන් චෝදනාව ව්‍යාජ බවත්, ඔහු විසින් එම තුවාල සිදු කරගෙන ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සනාථ වන බවත්ය. පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දුන් අධිකරණය, ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය. ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගෙන චීනයට පිටුවහල් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර චීන ජාතිකයා මෙම පෙත්සම ගොනු කර ඇත.
රංජන් කටුගම්පොළ