ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද(18) අභාවප්‍රාප්ත වී තිබේ. ක්‍රිස්ටෝපර් පෝල් මහතා 2020 වසරේ දැඩි ලෙස රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවේ මොළයට සම්බන්ධ නහරයක ලේ කැටියක් සිර වීම නිසාය. පසුව වේයන්ගොඩ පිහිටි ඔහුගේ දියණියගේ නිවසේ අර්ධ අංශභාග තත්ත්වයේ සිටියේය.මිය යන විට ඒ මහතා 87වැනි වියෙහි පසු විය.
හා මල් පිපෙන්නේ, වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා, මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සිය හඬ දායකත්වය ලබා දුන්නේය.
1936 වසරේ අප්‍රේල් මස 10 වැනිදා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය.
1955 වසරේදී එවකට සංගීත ලොවේ ප්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරූ පෝල් මහතා 1958 වසරේදී “පේනා විලේ මැද ඕලු මලේ” නමැති සිය ප්‍රථම ගීතය ගැයුවේ ඔහුගේ සහෝදරිය වූ බර්නඩේත් පෝල් මහත්මිය සමගයි.
ඉන් අනතුරුව බටහිර තනු අලලා නිර්මාණය වූ ගී රැසක් ගයමින් ජන හදවත් තුළ මතකයේ රැඳනෙ ගායන ශිල්පියෙකු වීමට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සමත් විය.
1968 වසරේදී පෝල් මහතා ලිලානි ගුණසේකර සමඟ විවාහ දිවියට එළැඹෙන අතර ඔහුගේ “රුවන් තොරන් තනා” යන ගීතය නිර්මාණය වන්නේ ඉන් පසුවයි.
ගුවන් විදුලිය, රූපවාහිනිය හරහා මෙන්ම දේශීය සහ විදේශීය වශයෙන් එළිමහන් ප්‍රසංගවලට ද පෙනී සිටිමින් ගීත ගායනා කළ ඔහු නව පරපුරේ ගායකයින් සමග ද සිය ගායන කෞෂල්‍යය විදහා පෑවේය.
0 Comments