court-rejects-confession-by-writer-accused-over-gotabaya-murder-attempt

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී කොල්ලුපිටිය පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටි කොටි සාමාජිකයකු බව පවසන ඉංජිනේරුවරයකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (16) නියම කළේය.

කොටි සාමාජිකයකු බව පවසන සිවලිංගම් ආරූරන් නමැති මෙම ඉංජිනේරුවරයා සහකාර පොලිස් අධිකාරි සිසිල් ද සිල්වා මහතා හමුවේ කළ ප්‍රකාශය හැරෙන්නට වෙනත් කිසිදු සාක්කියක් ඔහුට එරෙහිව නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ දැනුම්දීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.



විත්තිකාර ඉංජිනේරුවරයා සහකාර පොලිස් අධිකාරි සිසිල්ද සිල්වා මහතා හමුවේ කළ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් කරන ලද්දක් නොවන බවට තීන්දු කළ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවට තීරණය කරමින් ඔහු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය 2006 වසරේ කොල්ලුපිටිය පිත්තල හන්දියේදී ඔහු ගමන්ගත් මෝටර් රථයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා පහක් යටතේ නීතිපතිවරයා ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි.

විත්තිකරු විසින් සහකාර පොලිස් අධිකාරිවරයකු හමුවේ කළ පාපෝච්චාරණය ඔහුට එරෙහිව සාක්ෂියක් වශයෙන්  අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර නඩුව ආරම්භයේදී විත්තිකරු එය තමා ස්වේච්ඡාවෙන් කළ ප්‍රකාශයක් නොවන බවට දැනුම්දීමෙන් පසු එම ප්‍රකාශයේ ස්වේච්ඡා භාවය තීරණය  කිරීම සඳහා වෝයර් ඩයර් අතුරු සාක්කි විභාගයක් පවත්වන ලදී. එම අතුරු සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු කළ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් කරන ලද එකක් නොවන බව මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළ අතර ඔහුට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන යන්නේදැයි දැනුම් දීම සඳහා මෙම නඩුව ඊයේ කැඳවන ලදී.



ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රෝහන්ත අබේසූරිය මහතා අධිකරණය අමතමින් විත්තිකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා සියලු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය. සිවලිංගම් ආරූරන් මහතා සමගම නඩුවේ චෝදනා එල්ලවී සිටින පොන්නසාමි කාර්තිගේසු සිවාජි නමැත්තාට එරෙහි නඩුව විභාග කිරීම සඳහා එය කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා වෙත යොමු කිරීමටද විනිසුරු මාරසිංහ මහතා වැඩිදුරටත් නියම කළේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා මහතා අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළව වසර 17 ක කාලයක් රිමාන්ඩ් භාරයේ සිට තම සේවාදායකයා ග්‍රන්ථ කිහිපයක්ම රචනා කළ ගත් කතුවරයකු බව අධිකරණය හමුවේ පැවැසීය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ ධර්මරාජා මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා මහතා පෙනී සිටියේය.

මනෝප්‍රිය ගුණසේකර