covid-influensa-issue

ගෙවීගිය දින තුනක් තුළ පමණක් රට පුරා ඩෙංගු උණ රෝගීන් 700 ක් පමණ වාර්තාවී තිබේ. ඊට අමතරව ඉන්ෆ්ලුවන්සා තත්වයට සමාන රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ වැඩිවීමක්ද සිදුව ඇත.
මේ දිනවල පැතිර යන උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ඊයේ පවසා සිටියේය.
එම රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇති විය හැකි බව කියා සිටියේය.

“මේ රෝගයේ ස්වභාවය එහෙමයි. අලුත් ප්‍රභේද ඇති වෙනවා. ප්‍රභේද පිළිබඳව අපිට හරි අවබෝධයක් නෑ. ප්‍රභේද පිළිබඳ විශ්ලේෂණයක් කරලා ඒවා වාර්තා ලැබෙන්න කල් යනවා.

ඉන්දුනීසියාව, වියට්නාමය, සිංගප්පූරුව වැනි හැම රටකම වැඩිපුර කොවිඩ් රෝගීන් වාර්තා වෙනවා. නමුත් අපි කලබල විය යුතු නෑ. විශේෂයෙන්ම ඉන්ෆ්ලුවෙන්සා වගේ පැතිර යන නිසා, ඒවා කොවිඩ් රෝගයෙන් වෙන්කර හඳුනාගැනීමට අමාරු නිසා කොවිඩ් කාලයේ පිළිපැදපු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ඒ විදියටම අපි පිළිපැදීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම මුව ආවරණයක් නිසි ලෙස පැලඳීම ඉතාම වැදගත් වෙනවා.”

පවතින වර්ෂාපතනය හමුවේ වෛරස් රෝග කිහිපයක් පැතිර යමින් පවතින බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
මෙම වෛරස් රෝගවල රෝග ලක්ෂණ එක හා සමාන බැවින් එකිනෙකට වෙන් කර හඳුනාගැනීම ද අපහසු වී ඇති බව එම සංගමය පෙන්වාදෙයි.
බස්නාහිර පළාතේ ඩෙංගු උණ රෝගය තදින් පැතිර යමින් තිබෙන අතර එම දින තුනේදී බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු උණ රෝගීන් 300 දෙනකු පමණ හමුවී ඇති බව ද එම දත්ත වාර්තා සඳහන් කරයි.
මේ අතර බස්නාහිර පළාතේ රජයේ සහ පෞද්ගලික රෝහල් දිනපතා ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරි තිබූ බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දැනටමත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර කළුතර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ද ඩෙංගු උණ තදින් පැතිර යමින් ඒවා ද අධිඅවදානම් කලාප තත්ත්වයට ළඟාවෙමින් ඇති බව ද ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා සඳහන් කරයි.
මේ අතර මුල් මාස හතරේදී ඩෙංගු උණ රෝගීන් 30,000 ක් පමණ හමු වූ බව ද ඉන් රෝගීන් 15 දෙනකු මිය ගොස් ඇති බව ද වාර්තා වේ.


කොවිඩ්, මැලේරියාව සහ මී උණ රෝගීන් ද තැනින් තැන හමුවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඉකුත් වසරේ මෙරටින් මැලේරියා රෝගීන් 37 දෙනකු වාර්තා වූ අතර මේ වසරේ ගෙවීගිය කාලය තුළ මැලේරියා රෝගීන් 17 දෙනකු හමු වූ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එම සියලුම මැලේරියා රෝගීන් විදෙස් රටවල රැකියාවල නිරතව සිට හෝ සංචාරය කර හෝ මෙරටට පැමිණි පුද්ගලයන් බව ද සෞඛ්‍ය අංශ දත්ත වාර්තාවල දැක්වේ.
ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මීට වසර ගණනාවකට පෙර නම් කර ඇති පසුබිමක් තුළ මෙරටින් මැලේරියා රෝගීන් නැවත හමුවීම විශේෂත්වයකි.
තවද රට පුරා ප්‍රදේශ කීපයකින් මී උණ රෝගීන් ද වාර්තා වී තිබූ අතර මේ වසරේ ගෙවී ගිය කාලය තුළ මී උණ බවට සැක කරන රෝගීන් 9 දෙනෙකු හමුවි ඇතැයි ද වාර්තා වේ. මේ දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු උණ රෝගය තවදුරටත් පැතිර යා හැකි හෙයින් නිවාස හා ගොඩනැගිලි පරිශ්‍ර මදුරුවන් බෝ නොවන පරිදි පිරිසුදුව තබා ගැනීමට උනන්දු වන ලෙස ද ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් අදාළ ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධක බලකාය යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ ප්‍රධාන ලේකම්වරයාටත් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.