dengue-issue

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නලහෙට්ටි මහත්මිය පැවැති මාධ්‍ය හමුවකදී මේ දිනවල පැතිර යන ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මෙසේ දැනුවත් කිරීමක් සිදු කලාය.

"මේ වසරේ අපි දුටුවා අවුරුද්ද ආරම්භයේ සිටම ඩෙංගු රෝගීන් වැඩි වෙලා තියෙනවා. මේ වසරේ ලංකාවේ ඩෙංගු රෝගීන් 32600ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මීට පෙර වසරවල වාර්තා වුනාට වඩා බස්නාහිර පළාතෙන් වාර්තා වෙල තියෙනවා 50%ක් පමණ. ගම්පහ දිස්ත්‍රික්කය වැඩිම රෝගීන් විදියට කතා කරනවා.

ඉදිකිරීම් පරිශ්‍ර, රාජ්‍ය ආයතන, පාසල්, කර්මාන්තශාලා වගේ තැන්වල වියළි සහ ජලය සහිත තැන්වල කීටයන් සහිත මදුරුවන් බෝවිය හැකි භාජන බොහෝ වෙලාවට අඛණ්ඩව ඉවත් කිරීමේ කටයුතු සඳහා කණ්ඩායම් යෙදවීමට ඉතාම මැලිකමක් දක්වනවා.

අපේ කණ්ඩායම් යොදවලා කටයුතු කරත් අනිත් පාර්ශවයන්ගේ සහයෝගය ඉතාම අවශ්‍යයි. ඩෙංගු වර්ධනය පැතිරීමට කාරණා බැලුවහම එක් එක් දිස්ත්‍රික්ක අනුව අපට හමුවන මදුරුවන් බෝවන ස්ථාන වෙනස්. කොළඹ දිස්ත්‍රික්කය ගත්තගම 25%ක්, 30% පමණ ඉවතලන නොදිරන පොලිතින් සහ වෙනත් බඳුන් තියෙනවා. වෙනත් පළාතකට ගියාම වතුර ගබඩා කරන ටැංකි වගේ දේවල් අපට හමුවනවා. ළිඳක් වගේ දේවල් තියෙනවනම් අපිට පුළුවන් ඒවට මාළු වගේ ජීව විද්‍යාත්මක ක්‍රම යොදන්න පුළුවන්. එක ක්‍රමයකින් විතරක් රෝගය මර්ධනය කරන්න අමාරුයි.

වසංගත තත්වයක් කිව්වහම දිනකට එක ප්‍රදේශයකින් ‍රෝගීන් කීපදෙනෙක් හම්බවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි ධූමායනය කටයුතු සිදු කරනවා. වඩා ඵලදායි වෙන්නෙ එය ගොඩනැගිලි තුළ සිදු කිරීම මඟින්. ගාල්ල කළුතර වගේ ස්ථානවල බෝට්ටුවලත් මදුරුවන් බෝවන ස්ථාන දැකලා තියෙනවා.

දින දෙකකට වඩා උණ තියෙනවනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. සුළු පිරිසක් ඉන්නවා ඩෙංගු රක්තපාත තත්වයට යන්න පුළුවන්. මේ දවස්වල උණ කියලා කිව්වාම බොහෝ අය අත් වෙදකම් කර කර ඉන්නවා. සමහර අය උණ සමනය කිරීම සඳහා තමන්ම වේදනා නාශක පාවිච්චි කරනවා. ඒක හොඳ තත්වයක් නෙවෙයි.  ගර්භණී මව්වරුන්, වයෝවෘද්ධ උදවිය, කුඩා දරුවන්, වෙනත් රෝග තිබෙන උදවිය උණ තත්වයක් ඇති වුනොතින් එදිනම වෛද්‍ය උපදෙස් ලබා ගන්න."