doctors-perform-brain-surgery-baby-utero

එක්සත් ජනපදයේ බොස්ටන්හි වෛද්‍යවරුන් කණ්ඩායමක් මවු කුසයේ සිටින නූපන් බිලිඳියකගේ මොළයේ සැත්කමක් සාර්ථක ලෙස සිදු කිරීමට සමත්වීමේ පුවතක් පසුගියදා වාර්තා විය. ඉතාමත් කලාතුරකින් හටගන්නා VOGM (Vein of Galen Malformation) නම් රෝගී තත්ත්වයක් ඇය තුළින් හඳුනාගැනීම මෙම සැත්කමට හේතු වී තිබේ. මෙම බිලිඳියට එම සැත්කම සිදුකරන අවස්ථාව වනවිට ඇගේ වයස සති 34ක් පමණ වූ බව සඳහන් වෙයි. ඇය මවු කුසයේ සිටින අවස්ථාවේදී සිදුකළ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකදී මෙම රෝගී තත්ත්වය පිළිබඳව හඳුනාගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබේ.

වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට මෙම VOGM නම් රෝගී තත්ත්වය මොළයේ සිට හදවත වෙත රුධිරය ගෙන යන රුධිර ධමනි නිසි ලෙස වර්ධනය නොවීම නිසා ඇති වන රෝගී තත්ත්වයකි. මෙම රුධිර ධමනි විකෘතිතාව හේතුවෙන් බිලිඳියගේ හෘදය වෙත යන රුධිර ප්‍රමාණය අඩු වී ඇයට දරුණු සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරනු ඇති බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. ඒ අනුව බොස්ටන්හි ළමා රෝහලේ සහ බ්‍රින්ග්හැම්හි කාන්තා රෝහලේ වෛද්‍යවරුන්  කණ්ඩායමක් එක්ව මෙලෙස විකෘතිතාවට පත්ව තිබූ එම බිලිඳියගේ රුධිර නාලය ඇය මවු කුසයේ සිටියදීම සැත්කමක් මගින් නිවැරදි කිරීමට තීරණය කර තිබේ.එහිදී ඒ සදහා විකිරණ ප්‍රතිකාර යොදා ගැනීමට පියවර ගෙන ඇත.



වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට මෙම VOGM නම් රෝගී තත්ත්වය දැනට හදුනාගෙන ඇති වඩාත් බහුලතම මොළයේ රුධිරනාල විකෘතිතාව ලෙසින්ද සැලකෙයි.ඒ අනුව ලොව සිදුවන උපත් 60,000ක් අතරින් එක් උපතක් තුළ මෙම අවස්ථාව හදුනාගන්නා බවත් පැවසෙයි. මෙම සැත්කම පිළිබඳව අදහස් දක්වන ස්නායුවේදය පිළිබඳව ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය භුපේෂ් කුමාර්, "VOGM තත්ත්වය කියන්නේ මොළයේ සිට හදවත දක්වා රුධිරය ගෙන යන රුධිරනාලවල ඇති වන විකෘතිතාවකටයි. මේ හේතුවෙන් ශිරා සහ හදවත වෙත රැගෙන යන රුධිර ප්‍රමාණය අඩු වෙනවා. එය තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති කරනවා.” යනුවෙන් පවසා තිබේ. අදාළ සැත්කම සාර්ථකවීමෙන් දින දෙකකට පසුව මෙම බිලිඳිය මෙලොව එළිය දැක තිබේ.

එම අවස්ථාවේදී ඇගේ සිරුරේ බර රාත්තල් 4.2ක් ලෙස සටහන්ව ඇති අතර, එය සාමාන්‍ය බිලිඳෙකුගේ උපත් බරට වඩා අඩු බරකි. කෙසේ වෙතත්, මේ වනවිට ඇගේ වයස සති හයක් ඉක්මවා ඇති බවත්, ඇය ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වෛද්‍යවරුන් සදහන් කරයි. ඒ අනුව, මෙම රෝගී තත්ත්වය  වෙනුවෙන් ඇයට කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබා නොදෙන බවත්, ඇය සාමාන්‍ය ලෙස ආහාර ගනිමින්, සිය සිරුරේ බර වැඩි කරගනිමින් සිටින බවත් පැවසෙයි.

එසේම ඇය පිළිබඳව වන අවදානම පහවයාමත් සමග නිවෙස වෙත පිටත් කර හැරීමටද වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.මෙම සැත්කම පිළිබඳව අදහස් දක්වන බොස්ටන් ළමා රෝහලේ විකිරණවේදී වෛද්‍ය ඩැරන් ඔර්බාච්, ”මේ දැරිය උපත ලබා සති හයක් ගත වූ පසුව ඇය ඉතාමත් හොදින් කල් ගත කරනවා. මේ වනවිට ඇගේ මොළය තුළ කිසිදු රෝගී තත්ත්වයක් දැකගන්න නැහැ.” යනුවෙන් පවසා සිටියි.