ඩිජිටල් වේදිකාවල(Online Selling) ක්‍රියාත්මක වන අන්තර්ජාල විකුණුම්කරුවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඔන්ලයින් ගනුදෙනුවලදී විවිධ අදියර හරහා පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා වන සුවිශේෂ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා එහි සඳහන් කර තිබේ. නව රෙගුලාසිවලට අනුව විකුණුම්කරුවන් රැවටිලිකාර හෝ නොමග යවන ක්‍රියාවන්හි නියැළීමෙන් වැළකී සිටිය යුතුය.
එසේම විශේෂ දීමනා, නොමිලේ අත්හදා බැලීම් සහ අදාළ විය හැකි ඕනෑම අමතර ගාස්තු සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු සැපයීම අනිවාර්යය වී තිබේ. මීට අමතරව යම් භාණ්ඩයක සැබෑ මිලදී ගැනීමේ මිල වේදිකාවේ ප්‍රදර්ශනය වන මිල සමඟ සමපාත විය යුතු බවද පසුගිය මැයි 17දා නිකුත්කළ ගැසට් නිවේදනයෙන් අවධාරණය කර තිබේ.එපමණක් නොව, සියලුම ඊ-වාණිජ්‍ය ආයතන සහ ඩිජිටල් වේදිකා ක්‍රියාකරුවන් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පෞද්ගලික දත්ත රැස් කිරීමේදී, විනිවිදභාවය සහ දත්ත ආරක්ෂාව සහතික කරන පෞද්ගලිකත්ව ප්‍රකාශයක් යැවීමත් සිදු කළ යුතු බව දැනුම් දී ඇත.
මේ අතර මිලදී ගැනීමේ අදියරේදී, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඇණවුම තහවුරු කිරිමට පෙර ගනුදෙනුවේ සාරාංශයක් ලබාදිය යුතුය.එසේම, ගනුදෙනුවේ විනිවිදභාවය සහතික කිරිම සඳහා, මිල (සියලු ගාස්තු ඇතුළුව), හෝ විකල්ප ගාස්තු, ඕනෑම අනිවාර්ය ගෙවීම් ක්‍රම, බෙදා හැරීමේ නියමයන්, මුදල් ආපසු ගැනීමේ සහ අවලංගු කිරීමේ ප්‍රතිපත්ති, වගකීම්, ඇපකර, රහස්‍යතා ප්‍රතිපත්ති සහ ආරවුල් විසඳීමේ විකල්ප විස්තර කරන ලදුපතක් නිකුත් කළ යුතුය.
ඊ-වාණිජ්‍ය ආයතන සහ වේදිකා ක්‍රියාකරුවන් පාර්භෝගිකයන්ට පරිශීලක-හිතකාමී ගෙවීම් යාන්ත්‍රණ ලබා දිය යුතු අතර ගෙවීම් සම්බන්ධ අවදානම් අවම කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂක පියවර ක්‍රියාත්මක කළ යුතුය. එපමණක් නොව, භාණ්ඩ බෙදා හැරීම සඳහා විශ්වාසදායක සැපයුම් සපයන්නන් සේවයේ යෙදවීමට අවශ්‍ය වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම ගැසට් නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී සිටියි.
භානුක අමරසිංහ
0 Comments