ehetugaswewa-incident

තම දරුවන්ට දිවා ආහාර ලබා නොදී, ආහාර ලබා දුන් බව සලකුණු කර, රුපියල් එක්ලක්ෂ තුන්දහස් දෙසීයක මුදලක් වංචාසහගත ලෙස ලබා ගත්තේ යැයි කියන පාසල් කාර්යාල කාරිය සහායකයකු ඇතුළු පිරිස් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් කරන්නැයි වැලිඩය ඇහැටුගස්වැව විදුහලේ මවුපියෝ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති. ඉකුත් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දින 18ක් පාසල් පවත්වා ඇති අතර, දින 10ක් පාසලෙන් ආහාර ලබා දී තිබුණත්, ඉතිරි දින 8 මවුපියන් විසින් තම නිවෙස්වලින් ආහාර ලබා දී ඇත්තේ රජයෙන් මුදල් වෙන් වන්නේ නැති බවට පාසල් බලධාරීන් පැවැසූ නිසා බව ද ඔවුහු කියති.



පාසලේ දරුවන්ගේ ආහාර සඳහා එම දින අටට වෙන් වන මුදල රුපියල් එක්ලක්ෂ තුන්දහස් දෙසීයක් බවත්, දරුවන්ට කෑම දුන්නා සේ සලකා පාසල් කාර්යාල කාර්ය සහායක කූට ලියකියවිලි සාදා මුදල් ලබාගෙන ඇති බවත් ඔවුහු සඳහන් කරති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාසලේ සිසුවකුගේ පියකු වන ආර්.එම්. වීරකෝන් මහතා මෙසේ පැවැසීය.

“මේ සිද්ධිය ගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිදු වුණාට, අපි දැනගත්තේ ඊට මාස දෙකකට පස්සේ. ඒ වෙලාවේ අපි විදුහල්පතිවරයා දැනුවත් කළා. ඒ ගැන පරීක්ෂණයක් කරන බවට විදුහල්පතිවරයා පොරොන්දු වුණත් මේ වන තුරුත් පරීක්ෂණයක් සිදු කළේ නෑ. ඊට පස්සේ අපට සිදු වුණා උතුරු පළාතේ හා මුලතිව් උසස් අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙන්න. ඒ නිලධාරීනුත් දැන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අපගේ බලවත් ඉල්ලීම නිසා. මේක යට ගහයි ද කියලා බයකුත් දැනෙනවා. දුගී දුප්පත් දරුවන්ගේ මන්දපෝෂණය දුරු කරන්න ලෝකාධාර මත ලැබෙන මුදල් මේවා.

අපේ පාසලේ 1 සිට 5 දක්වා ශ්‍රේණිවල දරුවන්ට කෑම දෙන්න බාරගෙන ඉන්නේ අපේ ප්‍රාථමික අංශයේ අම්මලා දෙන්නෙක්. ඒ මුදල් චෙක් එක ලැබෙන්නේ මේ එක් අම්මකුගේ නමට. මේ සිද්ධියට අදාළ මාසයේ දින 18ක් පාසල් පවත්වා තියෙනවා. එයාලා කෑම දීලා තියෙන්නේ දින 10යි. නමුත් දින 18ම දරුවන්ට කෑම දුන්නා සේ සලකා ලියකියවිලි හදන්න උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව වැඩිපුර දින 8ක මුදල වන රුපියල් එක්ලක්ෂ තුන් දහස් දෙසීයක මුදල් පාසලේ කාර්යාල කාර්ය සහායකයා අරගෙන තිබෙන බව අපට දැනගන්නට ලැබුණා. දරුවන්ගේ ආහාර සම්බන්ධව කටයුතු කරන්න විදුහල්පතිවරයා යොදවලා තියෙන්නේ මේ කාර්යාල කාර්ය සහායකයා. මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුයි."



පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වගකීම බාරගෙන සිටින මවකගෙන් තොරතුරු ලබාගැනීමට හැකි විය. ඇයගේ ඡායාරූප හෝ නම් පළ නොකරන ලෙස ඉල්ලා මෙසේ කීවා ය. “ඇත්තටම ඔය මාසයේ මම කෑම දුන්නේ දවස් 10යි. නමුත් දින 18ම මුදල් ලැබී තිබුණු බව සක්සුදක් සේ දැනගත්තා. නමුත් මට ලැබුණේ දින 10ක මුදල් විතරයි. අනෙක් දින අටේ මුදල් ලැබුණේ නෑ." යැයි ද ඇය අපට කීවාය. ප්‍රාථමික අංශයේ දරුවන්ට දිවා ආහාර ලබා දෙන අනෙක් මවගෙන් ද මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ  විය.

මේ සම්බන්ධයෙන් අප වැලිඔය ඇහැටුගස්වැව විදුහල්පති ජේ. ප්‍රදීප් කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.

“ආහාර සම්බන්ධව කටයුතු කළේ පාසලේ කාර්යාල කාර්ය සහායක තමයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන්ට දින 18 ක් ආහාර ලබා දී මුදල් ලබාගෙන ඇති බව සනාථ වී තිබෙනවා. නමුත් පාසලෙන් දින 10ක් පමණක් ආහාර ලබා දී ඇති බව ද ඔප්පු වී තිබෙනවා. මේ සම්බන්ධව සිදු කරන පරීක්ෂණවලට අනුව යම් මුදල් වංචාවක් සිදු කර ඇති බව පෙනී යනවා."

මේ අතර, මේ සම්බන්ධව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද අනාවරණය විය. මුලතිව් අධ්‍යාපන කලාප කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන හා ආහාර) සුරේෂ් කුමාගෙන් විමසීමේදී ප්‍රකාශ කළේ, එහි පරීක්ෂණ කටයුතු අරඹා ඇති බවයි.

 පියදාස සමරවිර