express-pearl-cid

මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමකට ලක්ව මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබාගැනීම සදහා නඩු පැවරීම ප්‍රමාද කිරීමට ඇමෙරිකානු ඩොලර් කෝටි 25ක වංචාවක් සිදුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ ඊයේ (17) කරුණු වාර්තා කර ඇත. ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ මෙම පුවතට අදාළ තොරතුරු සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විසින් තම දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.



එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ලබාගැනීම ප්‍රමාද කිරීමට ඩොලර් මිලියන 250ක මුදලක් එංගලන්තයේ බැංකුවක ගිණුමකට බැරවී ඇති බවත් එම ගිණුම චාමර ගුණසේකර නමැති ශ්‍රී ලාංකිකයකුට අයත් එකක් බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට කළ දැනුම් දීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව විමර්ශනය ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් නඩු ගොනුව වසා තැබීමට නියෝග කළේය.
  නිමන්ති රණසිංහ