face-book-astrologer-story

මුහුණු පොතේ දැන්වීමක් නිර්මාණය කර එහි ‘හඳහන් බලන බවට’ සඳහන් කරමින් කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ ගණනින් කප්පම්ලබාගත් බව කියන ජ්‍යොතිර්වේදියකු 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (03) නියෝග කළේය. මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැවින් ඔහු මේ නඩුව සඳහා ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කළේය.



මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත් වූයේ මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ රඳවා සිටින සැකකරුවකු වන හම්බන්තොට පදිංචි ශෂී ඩ්‍රාවීන් නමැත්තෙකි. හඳහන් බලන බවට දැන්වීමක් නිර්මාණය කර මුහුණු පොතේ පළකර ඇති මෙම සැකකරු එම දැන්වීමට කතා කරන කාන්තාවන් රවටා ඔවුන්ගේ පින්තූර ගෙන්වා ගෙන ඇති බවත් පසුව එම පින්තූර භාවිත කර 'ගණිකාවන් ලබාගැනීමේ පහසුකම් ඇත' යනුවෙන් තවත් දැන්වීමක් නිර්මාණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට කරුණු වාර්තා කළේය.

පසුව, එම දැන්වීම නැවතත් අදාළ කාන්තාවන්ට යවා එය අන්තර්ජාලයේ පළකරන බවට තර්ජනය කර එසේ නොකර සිටීමට නම් රුපියල් ලක්ෂ දෙකක මුදලක් දෙන ලෙසට තර්ජනය කර මුදල් ලබාගෙන ඇති බවත්,

ඒ සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 20කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර ජ්‍යොතිර්වේදියා ලබන 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළේය.

නිමන්ති රණසිංහ