fish-vegetable-price-hike

වෙළඳපොළේ එළවළු සහ මාළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. ඒ අනුව බෝංචි, කැරට්, ගෝවා, තක්කාලි, දෙහි සහ මාළු මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ඔවුහු කියති. කොළඹ මැනිං වෙළෙඳපොළේ බෝංචි කිලෝවක් රුපියල් 400 කටත්, කැරට් කිලෝවක් 150 කටත්, ගෝවා කිලෝවක් 150 කටත්, තක්කාලි කිලෝවක් 230 කටත්, වම්බටු කිලෝවක් 150 කටත් දෙහි කිලෝවක් 300 කටත්, අමුමිරිස් කිලෝවක් 200 කටත් තොග මිල ගණන් යටතේ අලෙවි වන බව ඔවුහු  පවසති.

මේ අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 560 කටත්,

කැරට් කිලෝවක් 240 කටත්, ගෝවා කිලෝවක් 200 කටත්, තක්කාලි කිලෝවක් 360 කටත්, වම්බටු කිලෝවක් 300 කටත් දෙහි කිලෝවක් 600 කටත්, අමුමිරිස් කිලෝව 400 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති. වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කෙලවල්ලා කිලෝව රුපියල් 1400 කටත්, බලයා කිලෝව 1100 කටත්, පරා කිලෝව 1300 කටත්, තලපත් කිලෝව 1750 කටත්, සාලයා කිලෝව 480 කටත්, ලින්නා කිලෝව 1000 කටත් අලෙවි වන බවද ඔවුහු පවසති.

මෙම මිල ගණන්වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොළේ එළවළු සහ මාළු මිල ගණන් ඉතා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ කියති. ඒ අනුව සාමාන්‍ය වෙළඳපොළේ බෝංචි කිලෝවක් 560 කටත්,

කැරට් කිලෝවක් 320 කටත්, ගෝවා කිලෝවක් 280 කටත්, තක්කාලි කිලෝවක් 420 කටත්, මාළු මිරිස් කිලෝවක් 680 කටත්, මෑකරල් කිලෝවක් 430 කටත්, මුරුංගා කිලෝවක් 950 කටත්, දෙහි කිලෝවක් 680 කටත්, අමුමිරිස් කිලෝවක් 640 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති. සාමාන්‍ය වෙළෙඳපොළේ මාළු මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර, කෙලවල්ලා කිලෝව 2400 කටත්, බලයා කිලෝව2000 කටත්, පරා කිලෝව 2200 කටත්, තලපත් කිලෝව 2800 කටත්, සාලයා කිලෝව 650 කටත්, හැඬැල්ලා කිලෝව1950 කටත් අලෙවි වන බවද ඔවුහු කියති.

නිමල කොඩිතුවක්කු