france-passenger

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් මගියකුගේ ගමන් මල්ලක තිබී පිස්තෝලයකට සහ රිවෝල්වරයකට සමාන අවි දෙකක් කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පෙරේදා (2) සොයාගනු ලැබීය. එම අවි දෙක සොයා ගැනීමෙන් පසුව එම ගුවන් මගියාද ගුවන් තොටුපළ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන් තොටුපොළ පොලිසියට බාර දෙනු ලැබ ඇත.

ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට අයත් ගමන් බෑගය වෙනත් ගුවන් මගියකු වැරදීමකින් රැගෙන ගොස් එය ඔහුගේ නොවන බව දැනගෙන නැවත ගුවන් තොටුපොළට පැමිණ ඇත.

ගමන් බෑගයේ සැබෑ අයිතිකරුද ඔහුගේ ගමන් බෑගය සොයා ගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිට ඇත. ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් එම බෑගය පරීක්ෂා කර බැලීමේදී එහි තිබී අවි දෙකකට සමාන මෙම අවි දෙක සොයා ගැනීමට හැකිවිණි යැයි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. සිද්ධියට අදාළ ගුවන් මගීන් දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා මුදාහැර ගිනි අවිවලට සමාන අවි දෙක පොලිස් බාරයට ගනු ලැබීය.



එම බෑගයේ සැබෑ අයිතිකරු වන පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ විදෙස් ගමන් බලපත්‍රය පොලිසිය බාරයේ තබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත. ගිනි අවිවලට සමාන මෙම අවි දෙක පොලිස් මධ්‍යම අවි ගබඩාවට ඉදිරිපත් කර සැබෑ ගිනි අවිද එසේත් නැත්නම් ව්‍යාජ ඒවාදැයි යන්න ගැන වාර්තාවක් ලබා ගැනීමට ගුවන් තොටුපොළ පොලිසිය කටයුතු යොදා ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය