gampola-incident

ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එහි විදුහල්පතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම විදුහල්පතිවරයා එම පාසලේ වයස අවුරුදු 14 හා 15 යන වයස්වල පසුවන ශිෂ්‍යාවන්ට ලිංගික අතවර කර ඇති බවට පාසල් සංවර්ධන සමිතිය පුපුරැස්ස පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පනස් එක් වියැති මෙම විදුහල්පතිවරයා පාසල නිම වූ පසු සිසුන් සමග බස් රථයකින් සිය ගම්ප්‍රදේශයට යන බවත් ශිෂ්‍යාවන් අසල වාඩි වන ඔහු රාජකාරි බෑගයට මුවාවී ශිෂ්‍යාවන්ගේ පපු ප්‍රදේශය හා කලව ප්‍රදේශ අතගා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය සඳහන් කරයි.

එම ශිෂ්‍යාවන්ගෙන් ගත් කට උත්තර හා එය දැක ඇති සිසුන්ගේ ප්‍රකාශ මත එම පැමිණිලි තහවුරු වී ඇති බවද පොලිසිය පවසයි. විදුහල්පතිවරයාගේ මෙවැනි සිද්ධි පිළිබඳව පාසල් සංවර්ධන සමිතිය හා දෙමවුපියන් කලාප කාර්යාලයටද මීට පෙර පැමිණිලි කර ඇති අතර, ඒ අනුව එම විදුහල්පතිවරයා කලාප කාර්යාලයට මාරුකර එම කාර්යාලය මගින් ද  පරීක්ෂණයක් ආරම්භ කර තිබී ඇත. විදුහල්පතිවරයාගේ බිරියද ගුරුවරියක වන අතර ඇය ගලහ ප්‍රදේශයේ පාසලක සේවය කරයි.
සුරංග රාජනායක