gampola-incident

සේවා ස්ථානයට යෑම සඳහා නිවසින් ඉකුත් 7 වැනිදා පිටව ගිය 22 හැවිරිදි තරුණියක දින පහක් තිස්සේ අතුරුදන්ව ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.  ගම්වැසියෝ සහ ගම්පොළ පොලිසිය ඇය සොයා ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය මහවැලි ගඟ ඉවුර ඇතුළු ප්‍රදේශවල ඊයේ (11) මෙහෙයුමක් ආරම්භ කළහ. මෙසේ අතුරුදන්ව ඇත්තේ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නමැති තරුණියකි.



ඇය ගෙලිඔය නගරයේ ඖෂධ හලක සේවය කරන බව ඇගේ සොහොයුරකු වන මොහොමඩ් ඉම්රාන් නමැති අය පැවැසීය. නිවසේ සිට මීටර 100ක් පමණ ගිය පසු ඇල්පිටිය පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල ඇගේ රුව අවසන් වරට සටහන්ව ඇති අතර ඉන් එහා තිබෙන එවැනි කැමරාවල ඇයගේ රුව සටහන්ව නැතැයි ඔහු කීවේය. ෆාතිමාගේ මව වන සිත්ති සාහිරා පැවසුවේ ඇය සේවය කරන ස්ථානයට යෑම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ බවයි.

බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ඇය ගිය බවත් ඈ තමා හෝ කිසිවකු සමග අමනාපයක්  නොතිබූ බවත් මව කීවාය. ඇයට සොහොයුරන් තිදෙනකු සිටින අතර සිද්ධිය වූ දින පියා හා එක් සොහොයුරකු කොළඹ ප්‍රදේශයට ගොස් සිටි බව මව සඳහන් කළාය.  බස් රථයකින් යාමට නිවසේ සිට කිලෝමීටර දෙකක් පමණ පා ගමනින් වැලිගල්ල දක්වා යා යුතු අතර එම ගමන් මාර්ගයේ බොහෝ ස්ථාන පාළුවට ඇති බව පැවසේ.



මේ අතර ඥාතීන් හා ප්‍රදේශවාසීන් පසුගිය දින කිහිපයේම ඇගේ ඥාතීන්ගේ හා මිතුරන්ගේ නිවෙස් පරීක්ෂාවට ලක් කර ඇතත් ඇය පිළිබඳව හෝඩුවාවක් නොවූ බව ඇගේ පියා වන එල්.  ජින්නා නමැති අය කීවේය. සේවා ස්ථානයේ යතුරද ඇය සතුව තිබී ඇති අතර, එහි හිමිකරු ගෙන් ඇගේ නිවසට එදින උදේ 11.00 පමණ දුරකතන ඇමතුමක් ලැබී පාතිමා පිළිබඳව විමසීම නිසා ඇය වැඩට ගොස් නැති බව හෙළි වී ඇත.ඉන්පසු ඇය ගැන සොයා බලා ඒ පිළිබඳව ගම්පොළ පොලිසියට පැමිණිලි කර ඇත.
සුරංග රාජනායක