gampola-murder

සේවා ස්ථානයට යෑම සඳහා නිවසින් ඉකුත් 7 වැනිදා පිටව ගිය 22 හැවිරිදි තරුණියක දින හයක් තිස්සේ අතුරුදන්ව ඇතැයි වාර්තා පළව තිබියදී  ඇය ඝාතනය කර ඇතැයි අද ( 12) පොලිසිය වාර්තා කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයට අනුව ඝාතනය ගැන තොරතුරු අනාවරණයවී ඇත.
ෆාතිමා මූනවුවර (22) නමැති තරුණිය ගම්පොළ පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ගෙලිඔය ඔසුසලක සේවිකාවකි.
රැකියාව සඳහා නිවසින් පිටව ගිය ඇය පසුගිය ඉරිදා (07) සිට අතුරුදන්ව තිබුණි. ප්‍රදේශයේ සීසීටීවී පටිගත කිරීම් පරීක්‍ෂා කළ පොලිසිය එම තරුණිය ගෙලිඔය ප්‍රදේශයේ සේවය කරන බස් රථයකට නැගීමට යමින් සිටියදී ඇය පසුපස හඹා ආ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේය.


ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කළේ කාන්තාවට තමා සමඟ කැලයට යන ලෙස බල කළ බවත් ඇය එය ප්‍රතික්ෂේප කළ විට ඔහු ඇයව බලහත්කාරයෙන් අසල පිහිටි පොල් වත්තට ගෙන ගොස් ගෙල සිරකර මරා සිරුර වළ දැමූ බවත්ය.
විමර්ශනවලදී ඇයගේ කුඩයේ කොටස්, සෙරෙප්පු යුගල සහ වතුර බෝතලය එම ස්ථානයෙන් සොයා ගැනීමට පොලිසිය සමත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙන තෙක්‌ සිද්ධිය වූ ස්‌ථානය ආරක්‍ෂා කළ පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කර සිරුර ගොඩගැනීමට පියවර ගන්නා බවයි.


ඝාතනයට පෙර දූෂණයක් සිදුකර ඇතිද යන්න ගැන පරීක්ෂණ සිදුවේ.
ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

සිද්ධියට අදාළ පෙර වාර්තාව
නිවෙසින් රැකියාවට පිටත්වූ තරුණියක් දවස් 5 ක් තිස්සේ අතුරුදන්