පසුගිය වසරේ ජුනි 30 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස හයක ජල, විදුලි, ඉන්ධන සහ දුරකථන පරිභෝජනය පිළිබඳ දත්ත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.
මාසික ඒකක ගණන සහිතව ජුනි 31 වැනිදාට පෙර එම වාර්තාව ලබා දිය යුතු බවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක චක්‍රලේඛයක් මගින් දන්වා තිබේ.
අමාත්‍යාංශ සහ ඒ යටතේ ඇති සියලුම දෙපාර්තමේන්තු සහ ආයතනවල තොරතුරු ඊට ඇතුළත් විය යුතුය.
මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු මින් ඉදිරියට ජල, විදුලි, ඉන්ධන සහ දුරකථන වෙනුවෙන් භාවිත කරන ලද මාසික ඒකක ගණන ඇතුළත් තොරතුරු වාර්තාවක් කාර්තුමය වශයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවද එහි දැක්වෙයි.
එමෙන්ම විදුලිය සහ ඉන්ධන පරිභෝජනය නිසි අයුරින් සිදු වන්නේද යන්න සොයා බැලීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකටම බලශක්ති කළමණාකරුවකු වශයෙන් මාණ්ඩලික නිලධාරියකු පත් කිරීමට ද ආයතන ප්‍රධානින් කටයුතු කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්ය.
අගමැති දිනේෂ් ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ‘ඉදිරි දශකය සඳාහා ජාතික බලශක්ති විභවයන්, ක්රමෝපායන් හා මාර්ග සිතියම සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව’ සකස් කළ වාර්තාවේ අඩංගු නිර්දේශ මත මෙය ක්‍රියාත්මක වේ.
0 Comments