hambantota-mushrooms

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට සිදු කෙරෙන බිම්මල් වගාව තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි පෙන්හොයි මහතා ඉල්ලීමක් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිම් මල් වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය සියලු සහයෝගය චීන රජය මගින් ලබා දීමට සූදානම් යැයි තානාපතිවරයා සඳහන් කළ බවද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



මෙරට බිම්මල් විශේෂ ගණනාවක් ඇති නමුත් වාණිජ මට්ටමෙන් වගා කළ හැකි බිම් මල්, මුතුබෙලි හතු, ෂටාකේ බිම් මල් හා ඇබලෝනි බිම් මල් වැනි වර්ග කිහිපයකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට බිම්මල් වගාව සිදු කෙරෙන නමුත් බොහෝ ගොවීන් වගා කරනුයේ බිම්මල් වර්ග දෙකක් හෝ තුනක් වැනි සුළු ප්‍රමාණයකි. එහෙත් මිනිස් පරිභෝජනයට සුදුසු ඉහළ පෝෂණීය ගුණයක් ඇති බිම්මල් විශේෂ 29 ක් පමණ  ඇති බවත්, චීනයේ ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය ආහාරයක් වන බිම්මල් ආහාරයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට පියවර ගත යුතු යැයි චීන තානාපතිවරයා සඳහන් කර තිබේ. දැනට හම්බන්තොට වරාය ආශ්‍රිතව චීන ජාතිකයන් විශාල පිරිසක් සිටින නිසා බිම්මල් වගා කිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායමක් උපයාගත හැකිව ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
අංජුල මහික වීරරත්න