
පුද්ගල සෞඛ්‍ය වාර්තාව යෙදවුමක් මාර්ගයෙන් ජනතාවට ලබාදීම සඳහා ලෝක බැංකුව විසින් දළ වශයෙන් මිලියන 500කට අධික ප්‍රතිපාදනයක් ලබාදී වසර ගණනක් ගත වුවද, අදාළ ව්‍යාපෘතිය මේ වන තෙක් ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ලෝක බැංකුවේ ඉහළ නිලධාරීන් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත. ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ලෝක බැංකු විශේෂ දූත පිරිසක් සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ (22දා) පැවති සාකච්ඡාවකදී ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය විශේෂඥ දීපිකා ආටිගල මහත්මිය මේ පිළිබඳ ඍජුව විමසා තිබිණි.
එහිදී ඒ මහත්මිය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ, මීට සමාන ව්‍යාපෘති ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය තුළද සාර්ථකව නිම කිරීමට ඉන්දීය රජ්ය හා ප්‍රාන්ත පාලනය සමග එක්ව ලෝක බැංකුවට හැකියාව ලැබී ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකු ප්‍රධානීන් තමන්ගෙන් දැඩිව විමසා සිටින බවද සඳහන් කර ඇති ආටිගල මහත්මිය, ලෝක බැංකු සභායෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය සංවර්ධනයට සම්බන්ධ කටයුතු පිළිබඳ යෝජනා ඉදිරිපත් වෙමින් පැවතියද මේ වනවිට ආරම්භ කර ඇති නමුත් අවසන් කිරීමට නොහැකි වූ කටයුතු සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව පිළිබඳ වැඩිදුරටත් අවධාරණය කර ඇත. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය ඇතුළු සෞඛ්‍ය පද්ධතිය වෙත තවදුරටත් ලෝක බැංකු සහාය ලැබිය යුතුද යන්න විමසා බැලීම සඳහා වූ තීරණාත්මක නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා ලෝක බැංකු නියෝජිතයෝ මෙරට සංචාරයක නිරතව සිටිති.
නිදර්ශනි වික්‍රමසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval