homagama-incident

බූරුවා ගැසීමට යැයි පවසා දුරකථන ඇමතුමක් දී බේරුවල ප්‍රදේශයේ සිට හෝමාගමට ගෙන්වා ගත් පුද්ගලයකුට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ නවයක මුදලක් කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ,හෝමාගම නරියා ඇතුළු තිදෙනකු බව පොලිසිය කියයි.මොවුන් ඇතුළු කණ්ඩායමක් මුදලට සූදු කෙළීමේ (බූරුවා ගැසීමේ) ජාවාරමක් කලක සිට පවත්වාගෙන ගොස් ඇති අතර

ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් පැමිණ සූදු කෙළීමේ ජාවාරමේ නිරතව ඇතැයි පැවසේ.

එසේ පැමිණි පුද්ගලයන් පසුගිය දින කිහිපය පුරා බූරුවා ගැසීමේ ජාවාරම ජයටම පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී හෝමාගම නරියා ඇතුළු කිහිප දෙනකු පරාජය වී, බේරුවල ප්‍රදේශයේ පුද්ගලයකු ජයග්‍රහණය කොට ඇතැයි පැවසේ. ඊට උරණ වූ නරියා ඇතුළු තිදෙනෙකු බේරුවල ප්‍රදේශයේ සිය මිතුරාට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ කෝටි ගණනක මුදල් ගැවසෙන සුදු කෙළියක් පැවැත්වෙන බැවින් ඒ සදහා හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ නිවසකට පැමිණෙන ලෙසයි.

ඒ අනුව බේරුවල මිතුරා රුපියල් ලක්ෂ 9 ක මුදලක් ද අතැතිව ඉකුත් 25 දා හෝමාගම සුව පුබුදුගම ප්‍රදේශයේ නිවකට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගෙලට තියුණු ආයුධයක් තබා මරණීය තර්ජනය කොට ඔහු සන්තකයේ තිබූ තිබූ රුපියල් ලක්ෂ 9 ක මුදල කොල්ලකා පලවා හැර තිබුණි. සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන හෝමාගම නරියා සහ ඔහුගේ තවත් මිතුරන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.



අත්අඩංගුවට ගත් නරියා නැමැත්තා අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස නම් දරා ඇති අතර මීට මාස තුනකට පමණ පෙර ද මීගොඩ ප්‍රදේශයේ පැවති සූදු පොළට ගොස් එමින් සිටි පුද්ගලයකුගෙන් මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බවත් ඊට අමතරව කොල්ලකෑම් පහරදීම් ඇතුළු අපරාධ සිද්ධීන් රැසකට චෝදනා ලැබූ පුද්ගලයකු බවත් පැවසේ.අත්අඩංගුවට ගත්  සැකකරුවන් (29) දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම වැඩබලන  මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රියශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පැවැත්වේ.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න