hospital-pay-wards

රජයේ සියලු රෝහල්වලට ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන් සඳහා ලබාදෙන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභය රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නොහැකි නිසා ඔවුන් පුද්ගලික රෝහල්වලට යොමුවන බවත්,

එම නිසා එකී රක්ෂණ ආවරණය සහිත පුද්ගලයන්ට සහ මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කරන දේශීය හා විදේශීය පාර්ශ්වයන්ට රෝහල තුළම ගෙවන වාට්ටු ක්‍රමයක් ස්ථාපිත කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

මේ යටතේ දැනට පවතින ගාස්තු ක්‍රම සහ ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන්ද ක්‍රමවත් වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කිරීමට නියමිත බවද ඔහු කීවේය.

කෙසේ නමුත්,රජයේ රෝහල්වලින් පොදු ජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදීම දිගටම සිදු කෙරෙන බවද ඔහු කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

සාලිය කුමාර ගුණසේකර