hot-weather-issues

මේ දිනවල ශරීරයට  දැනෙන උණුසුම් තත්ත්වය ඉහළ යාම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අවවාදාත්මක නිවේදන පිළිබඳ මහජනතාව අවධානය යොමුකළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දිවයිනේ බොහෝ පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයේ වැඩිවීමක් වාර්තා වන බවත්, මේ නිසා ඔබට ඇති විය හැකි පීඩා අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසද ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් විජලන තත්ත්වයට පත් වීම සහ ලවණ ඉවත්වීම නිසා ඇති විය හැකි මස්පිඬු පෙරළීම,

අධික උෂ්ණත්වය නිසා අධික මහන්සියක් ඇති විය හැකි බවත්, එසේම ළමයින් ක්‍රීඩා කිර්ම වැනි උෂ්ණත්වයට නිරාවරණය වන ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරතවීම නිසා ශරීර උෂ්ණත්වය නියාමනය කිර්ම අඩපණ වී ආඝාත තත්ත්වයන් ඇති විය හැකි බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

මේ නිසා විවෘත වැඩබිම්වල සේවය කරන පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිර්මටත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට කටයුතු කිරීමටත්, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීම වාර්තා වන කලාපයේ ජීවත්වන වැඩිහිටි හෝ රෝගී පුද්ගලයන් මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමත් සිදුකළ යුතු බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මීට අමතරව වාහනය තුළ දරුවන් තනි කර දමා බැහැර යන්නේ නම්,

එවැනි ක්‍රියාවලින් වැළකී සිටීමටත්, අධික වෙහෙසකාර් කටයුතුවල නිරතවීමෙන් හැකිතාක් මිදීමටත්, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුතු සැහැල්ලු ඇඳුම් ඇඳීමට කටයුතු කිර්මත් වඩාත් සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංකූලතා අවම කර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදී තිබෙන බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.උණුසුම් දර්ශකය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශ්ලේෂණ දත්ත මගින් ලබාගත් වායුගෝල ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගනිමින් ගණනය කර ඇති අතර, මෙය වායුගෝලීය උෂ්ණත්වය නොවන බවත්, ශරීරයට දැණෙන උණුසුම බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 ඉන්දික හේවාවිතාරණ