income-tax-issue

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 27,000ක බදු මුදලක් (අභියාචනා සහ විරෝධතා නොමැති) අය කර ගැනීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.

මේ අතර බදු නොගෙවන විශාල වෙළෙඳ සමාගම් සහ ආනයනකරුවන් සියයකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු කිසිවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතුව නොපවතින බව ද එම කමිටුවේ දී අනාවරණය විය. රටේ සිදුවන දැවැන්ත ගනු දෙනුවලට අදාළ දත්ත ලබාගැනීම සඳහා නිසි ක්‍රම වේදයක් නොමැති වීම සම්බන්ධයෙන් ද කමිටුව මෙහිදී සාකච්ඡා කළේය. එබැවින් මෙම මුදල් අය කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් අලුත් නීති ඇති කිරීමට අවශ්‍ය සහයෝගය කමිටුව හරහා දෙන බවත් කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ලියාපදිංචි සමාගම්වලින් බදු අයකිරීම, නව බදු ලිපිගොනු ආරම්භ කිරීම. දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බදු නිලධාරීන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අය කිරීමේ රමිස් පද්ධතිය වැනි කරුණු පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණි. අභියාචනා සඳහා තිබෙන ප්‍රතිපාදනය අවභාවිත කරමින් බදු ගෙවන්නන් බදු ගෙවීමෙන් වැළකී සිටින බවත් අභියාචනා කටයුතු අවසන්වීමට වසර 2ත් 7ත් පමණ කාලයක් ගත වන හෙයින් මේ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනමින් හඳුන්වා දිය යුතු බවත් කමිටුව පෙන්වා දුන්නේය. මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පාලනය කළ නොහැකි දීර්ඝ කාලයක් ගතවන අභියාචනා ප්‍රතිපාදන නිසා මෙය සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එහිදී පැවසූහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රංජිත් හපුආරච්චි මහතා පෙන්වා දුන්නේ බදු සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනත් රටවල මෙන් විශේෂ අධිකරණ පද්ධතියක් මෙරට පවතී නම් මෙම නීතිමය කටයුතු කඩිනමින් අවසන් කළ හැකි බවයි.මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර බදු අභියාචනා කටයුතු සඳහා විශේෂ අධිකරණ පද්ධතියක් ඇති කිරීමට පියවර ගන්නා බව කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර, බදු ලිපිගොනු ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් අතුරෙන් බදු ගෙවන ලිපිගොනු සංඛ්‍යාව පිළිබඳව කමිටුව විමසා සිටියේය. කෙසේ වෙතත් අදාළ තොරතුරු දෙපාර්තමේන්තුව නිලධාරීන් සතුව නොමැතිවීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කළේය. එම තොරතුරු මීළඟ කමිටු රැස්වීමේදී ලබා දෙන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී ගාමිණී වලේබොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, සුදත් මංජුල, විමල් වීරසිංහ, ඉරාන් වික්‍රමරත්න, වීරසුමන වීරසිංහ සහ ජගත් කුමාර සුමිත්‍රආරච්චි යන මහත්වරු ද එම රැස්වීමට සහභාගි වූහ.

සුජිත් හේවාජුලිගේ