
නිවසක තනිව සිටි 25 හැවිරිදි තරුණියක් ඊයේ (11) පස්වරුවේ හදිසියේ මියයාමේ සිදුවීමක් ඉංගිරියෙන් වාර්තා විය. මීට මාස කිහිපයකට ඉහතදී විවාහ වූ මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා රැකියාව නිමවී සවස නිවසට පැමිණීමේදී සිය බිරිඳ මුළුතැන්ගෙයි සිහිසුන්වී වැටී සිටින අයුරු දැක තිබේ.
පසුව ඔහු ඇයව ඉංගිරිය ප්රාදේශීය රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මිය ගිය තරුණිය වැටී සිටි ස්ථානයට ආසන්න කාමරයක විදුලි පේනුවක් බිත්තියෙන් වෙන්වී පිටතට නෙරා තිබූ බවද පොලීසිය නිරීක්ෂණය කර තිබේ.
තරුණිය මිය ගියේ පැවති ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදීමෙන් ද යන්න සැකයක් පවතින බවද පොලිස් නිලධාරියෙකු පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය බෝධිනාගල යහලවත්ත ප්රදේශයේ පදිංචිව සිටි දිනුශිකා දමයන්ති ජයසිංහ නමැති තරුණියකි.
තරුණියගේ හදිසි මරණයට හේතුව දැනගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval