විදුලි ගාස්තු සියයට 3 කින් අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (18) පැවසීය. විදුලිබල මණ්ඩලය යොමුකර ඇති ඇස්තමේන්තුව අනුව විදුලි ගාස්තුව සියයට 27 කින් අඩුවිය යුතු බව කී රත්නායක මහතා මීට දින කීපයකට පෙර විදුලි ගාස්තු සියයට 3 කින් අඩු කිරීමට ඉදිරිපත් කළ යෝජනාව කිසිඳු පදනමක් නොමැතිව වැරදි දත්ත මත පදනම්ව ඉදිරිපත් කර ඇති බව ද සඳහන් කළේය.
විදුලි ගාස්තුව ජූලි මස 1 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සියයට 3 කින් අඩු විය යුතු බවට ඉදිරිපත් කර ඇති යෝජනාව විහිළුවක් මෙන්ම ප්‍රෝඩාවක් බව කී රත්නායක මහතා සැබෑ පිරිවැය අඩුවීමට සාපේක්ෂව විදුලි ගාස්තු අඩු කිරීම සඳහා නිවැරැදි දත්ත ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට දන්වා යවා ඇති බව කීවේය. ව්‍යාජ දත්ත ඉදිරිපත් කර පසුගිය පෙබරවාරි මාසයේ දී සියයට 66 කින් ගාස්තු වැඩි කළ ද
ඒ අවස්ථාවේ ගාස්තු වැඩිකළ යුතුව තිබුණේ සියයට 35 කින් පමණක් බවත් මෙම වසරේ විදුලි පරිභෝජනය සාමාන්‍යයෙන් ගිගාවොට් පැය 15,050 ක් වනු ඇති බවට මහජන උපයෝගිතා කොමිසම ගණන කර තිබූ බවත් ඔහු පැවැසීය.
පෙබරවාරි මස විදුලි ගාස්තු වැඩි කිරීමේ දී විදුලිබල මණ්ඩලය වාර්ෂික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 16,550 ක් ලෙස ගණනය කර විදුලි ගාස්තු සියයට 65 කින් අනීතිකව ඉහළ දැමූ බව ද ඔහු කීය. විදුලිබල මණ්ඩලයේ මෙම වසරේ සම්පූර්ණ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 16,550 ක ප්‍රමාණයේ මේ වන විට 15,264 කට අඩු වී බවත් ඒ අනුව ගිගාවොට් පැය 15,264 කට ඉල්ලුම අඩු වන විට පිරිවැය රුපියල් කෝටි 10,700කින් අඩු වන බවත් රත්නායක මහතා පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනයේ දී යෝජනා ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව අනුමත කර ඇති ගාස්තු ක්‍රමවේදයට අනුකූලව යැයි කී එම ක්‍රමවේදයට අනුව විදුලිය සැපයීම සඳහා වැය වන සාධාරණ වියදම පමණක් විදුලි පාරිභෝගිකයාගෙන් අය කරගත හැකි බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලය ණය පවා විදුලි පාරිභෝගිකයාගෙන් අයකර ගැනීමට යෝජනා ඇතුළත් කර අනුමත ක්‍රමවේදයට පටහැනිව මෙවර ද ගාස්තු සංශෝධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට උත්සහ දරන බවද ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මේ බව සඳහන් කළේ කොල්ලුපිටියේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයේ දී ඊයේ (18) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
යොහාන් භාසුර
0 Comments