ආගමික සංහිඳියාවට හානි වන ලෙස ප්‍රකාශයක් කළ බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා ගැන ජනපති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණයක් දැන් ආරම්භවී ඇති අතර ඔහු රටින් පළාගොස් ඇති බවටත් ඊයේ අධිකරණයෙන් ඔහු රටින් පිටවීම වළක්වා නියෝගයක් ගෙන ඇති බවටත් වාර්තා වේ. මේ අතර ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමකින් දන්වා ඇත්තේ තමන් කලින් සැලසුම් කරගත් පරිදි විදේශ ගතව ඇති බව හා නැවත ඉරිදා ලංකාවට පැමිණෙන බවයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන සිම්බාබ්වේ දේශයේ ඌබට් ඒන්ජල් නැමැති දේවගැතිවරයා ජාත්‍යන්තර රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ තැනැත්තෙකු බව අල් ජසීරා රූපවාහිනිය වාර්තාමය වැඩසටහනක් ඔස්සේ අනාවරණය කර ඇති අතර ,ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවාගේ සමීපතමයෙකු වන අතර ඔහු එරට රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මුල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරය අල් ජසීරා රූපවාහිනිය ගවේෂණාත්මකව වාර්තා කර තිබුණි.



තමා ශාස්තෘවරයෙකු ලෙස හඳුන්වාගන්නා ඌබට් ඒන්ජල් පසුගිය 2020 සහ 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර මෙම වර්ෂයේ මාර්තු 19 වැනිදා කටුනායක මිරකල් ඩෝම් ශාලාවේදි ඒකාබද්ධ මෙහෙයක් පවත්වා ඇත්තේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සමගින් වන බවත් , මෙවන් පසුබිමක සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානයද අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුනි. එම ප්‍රකාශය තුළින් බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශ්ව වලින් චෝදනා එල්ල වුණි.

ඒ අනුව නව භික්ෂු පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිල්ලක්ද ගොනු කළ අතර ,  දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකොට තමාට වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද 15 දා නියෝග කළේය.

මෙරට රෝමානු කතෝලික සභාව 16 දා කොළඹ අගරදගුරු මැදුරේදී මෙම දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීමට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.

මෙම කලබගෑනියෙන් පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටව ගොස් ඇති බව මාධ්‍ය වාර්තා පළවූ නමුත්
 ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු පසුගිය 14 වනදා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි. ඒ අනුව ඔහු සම්බන්ධ ක්‍රියාමාර්ග ජනපති හෝ අනෙක් අය ලබාගන්නට පෙර දිනයේ එනම් 14 වනදා ඔහු රටින් පිටව ඇත.
 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 16 වනදා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබුනේ ඔහු රටින් පිටව ගිය පසුය.

සිංගප්පූරුව බලා පිටව ගොස් සිටි ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමට විශේෂ පණිවුඩයක් එක්කර දක්වා තිබුණේ ලබන ඉරුදින (21) තමන් යළි ලංකාවට පැමිණෙන බවයි.

“හලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි, මම දැනට නිල කටයුතු සඳහා ගමන් කරමින් සිටින අතර, ඉරිදා නැවත නිවසට පැමිණේ” යනුවෙන් සඳහන් කර තිබෙයි.