kalawana-incident

කලවාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු එම පාසලේ දරුවන් 50කට අධික පිරිසක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව කලවාන පොලීසිය පැවසීය.

ජාතික ළමාරක්ෂණ අධිකාරියට ලැබුණු නිර්නාමික පෙත්සමක් අනුව කලවාන පොලීසියට සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය විසින් අදාළ පාසල වෙත ගොස් සිසුන් දැනුවත් කිරීමෙන් පසුව අදාළ ගුරුවරයා සිදුකළ බව කියන අපයෝජනයන් පිළිබඳව පැමිණිලි පොලීසියට ලැබී තිබේ. ඒ අනුව අදාළ පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවන් දෙදෙනකු විසින් පසුගිය 27දා කලවාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.



අදාළ දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇති බවද කලවාන පොලීසිය පැවසීය. සැකකාර ගුරුවරයා එම විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයකු ලෙසද කටයුතු කර ඇති අතර ඔහුට විරුද්ධව අධ්‍යාපන කාර්යාලයට ලැබුණු පැමිණිලි මත වැඩ තහනමට ලක්ව ඇති බවද කලවාන පොලීසිය පැවසීය. එම ගුරුවරයා තරුණ අවිවාහක පුද්ගලයෙකු බවද කලවාන පොලීසිය පැවසීය. මේ වන විට පැමිණිලි ඉදිරිපත් කිරීමට දරුවන් දෙදෙනෙක් පැමිණියත් සැකකාර ගුරුවරයා අතින් අපයෝජනයට ලක්ව ඇති බවට සැකකරන ළමයින් 50දෙනෙකුට වඩා සිටින බවත් පොලීසිය පැවසීය.

ලැජ්ජාව නිසා මෙලෙස පැමිණිලි  සිදු නොකරන බවත් ඇතැම් දරුවන් අදාළ පාසලින් ඉවත්ව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය පැවසීය. සැකකාර ගුරුවරයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව කලවාන පොලීසිය පැවසීය. කලවාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කමනි ප්‍රදීපා මහත්මිය ඇතුළු එහි නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.
උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම