kalutara-fact-check

කළුතරදී පස්මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටී මියගිය 16 හැවිරිදි සිසුවිය ඝාතනයට සැකපිට අත්අඩංගුවේ පසුවන 29 හැවිරිදි ධනුෂ්ක ගයාන් සහබන්දු 2022 අරගල සටනේ කළුතර සංවිධායකයෙකු වශයෙන් කටයුතු කළ බවත් අරගලයට සම්බන්ධවන්නේ එවැනි අය බවත් කියමින් කළුතර පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන 9 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
ඔහුගේ ප්‍රකාශයට පදනම් වන්නට ඇත්තේ පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණයවූ රැවුල වැවූ පච්ච කෙටූ අරගල ක්‍රියාකාරිකයෙකුගේ ඡායාරූපයක් හා බැඳුණ ව්‍යාජ විස්තරය වන්නට ඉඩ තිබේ.

මෙම නොමග යවන සුළු හෙළිදරව්ව ගැන අන්තර්ජාල තොරතුරු පිරික්සුම් සත්‍යාපන සේවාවක් වන Factcrescendo Sri Lanka වෙනුවෙන් පවිත්‍රා සඳමාලී විමර්ශනයක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ ධනුෂ්ක ගයාන් සහබන්දු අරගලයට සම්බන්ධ වී සිටි අයෙකු නොවන බවයි.

එක හා සමාන රූප ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ගනිමින්, කාලීන පුවත් සඳහා ව්‍යාජ අර්ථකතන ලබාදී, අසත්‍ය තොරතුරු පැතිරවීමක් බවද එම විමර්ශනයේ තොරතුරු වලින් හෙළිව ඇත.



කළුතර දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඟවමින් පළ වූ නොමඟ යවන සුළු, ව්‍යාජ ඡායාරූප සටහන් කිහිපයක් පිළිබඳ සිදු කළ විමර්ශනය සඳහා අරගලයේ සක්‍රීය දායකත්වය සැපයූ සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් තොරතුරු විමසා තිබෙන අතර  අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ ශාලික රුක්ෂාන් සේනාධීර නමැති කලාවට සම්බන්ධ පුද්ගලයෙකු‍ගේ ඡායාරූපයක් මෙලෙසින් අවභාවිත කොට අසත්‍ය පතුරුවන බවයි. එමෙන් ම අරගලයේදී දිස්ත්‍රික් සංවිධායක මෙන් ම වෙනත් තනතුරු හෝ සාමාජිකයන් අතර බෙදී යාමක් ිසදුකර නැති බවද ක්‍රියාකාරීන් පවසා තිබේ.
ඒ අනුව  ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරද්දී දැක ගන්නට ලැබෙන්නේ ඔහු විසින් 2022 වසරේ ජූනි 27 වන දින සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ඡායාරූප ඇල්බමයේ එක් ඡායාරූපයක් ඉහත අසත්‍ය සටහන් නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන තිබුණ බවයි.
ශාලික රුක්ෂාන් සේනාධීරගෙන් දුරකතන මාර්ගයෙන්  කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අරගලයට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අසත්‍ය පැතිරවීම සඳහා මෙවැනි අසත්‍ය දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරන බවයි.

 සත්‍ය සැකකරු අරගලයේ සිටි පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත්දැයි යන්න පිළිබඳ විමසීම සඳහා අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනය සිදුවෙමින් පවතින බවත්, ඔහු අරගලයේ සිටි පුද්ගලයෙක් ද,නැද්ද යන්න වග අනාවරණය නොවූ බවත් , යම් සිදුවීමක් දේශපාලනික කරුණක් නොවන තුරු සැකකරුවෙකුගේ දේශපාලනය විමර්ශන වලට අදාළ නොවන බැවින් ඒවා විමර්ශනය නොකරන බවයි.


එමෙන් ම එම පුද්ගලයා අරගලයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක වැනි තොරතුරු අනාවරණය කර ගත් නොවූ බව ත්, විමර්ශනයට භාජනය නොවූ එවන් තොරතුරක් මාධ්‍ය වෙතට පොලිසිය මගින් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත්ය.

එමෙන් ම කළුතර ප්‍රදේශයෙන් අරගලයට ප්‍රධාන වශයෙන් සක්‍රීය දායකත්වය සැපයූ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ද, සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු අරගලයේ සංවිධායක වැඩකටයුතු සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ පුද්ගලයෙක් ද යන්න පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, කළුතර ප්‍රදේශය පාදක කර ගෙන සිදුවූ අරගලයේ මෙවන් පුද්ගලයෙකු ඇස නොගැටුණු බවයි. එමෙන් ම අරගලයට වර්ෂයක් පිරීම හේතුවෙන් පැරණි ඡායාරූප වීඩියෝ නැවත කරළියට පැමිණ ඇති අතර ඒවා ද, පරීක්ෂා කළ ත්, එවන් පුද්ගලයෙක් ඔවුන්ට දැක ගන්නට නොලැබුණු බව ඔවුන් තහවුරු කර තිබේ.

සත්‍ය සැකකරුගේ ස්වරූපයට සමාන ස්වරූප ඇති පුද්ගලයන්, හුදෙක් අරගලයට සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර පැතිරීම සඳහා මෙන්ම හුදෙක් විනෝස්වාදය සඳහා නිර්මාණය කරන ලද මෙම ව්‍යාජ සටහන් හේතුවෙන් මෙලෙසින් ජනතාව නොමග ගොස් ඇත් බව විමර්ශනය අනුව පැහැදිලි කර තිබේ.

(Factcrescendo Sri Lanka වෙනුවෙන් පවිත්‍රා සඳමාලී කළ විමර්ශනය ඇසුරිනි)