kalutara-girl-death-update

කළුතර හෝටලයක උඩු මහලින් පෙම්වතිය තල්ලු කොට මරාදමා මේ වනවිට පළාගොස් ඇති බවට සැලකෙන 29 හැවිරිදි තරුණයෙකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී. මේවනවිට අත්අඩංගුවේ පසුවන මියගිය සිසුවියගේ  19 හැවිරිදි අසල්වාසී සොයුරිය හා ඇයගේ පෙම්වතා බව කියන 21 හැවිරිදි තරුණයා ලබාදී ඇති විස්තර අනුව
16 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය නිරුවත් කර තුන්වන මහලෙන් පහළට තල්ලු කර මරා දැමූබවට සැක කෙරෙන තරුණයා ඇය හඳුනාගෙන ඇත්තේ ‘ටික් ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය ඇසුරින් බවට තොරතුරු අනාවරණයවී ඇත.
අත්අඩංගුවේ පසුවන ඔවුන් කියා ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක ගෙවීමට අපහසු වාහන අත්පත් කරගන්නා (සීසර්) පුද්ගලයකු වන මෙම සැකකරු වාහනයක් හයර් කරගෙන මෙම ‘වෙසක් විනෝද ගමන‘ සැලසුම් කරන ලද බවයි.

ටික්ටොක් සමාජ මාධ්‍යට වීඩියෝ එක් කරන සිසුවිය මෙම පුද්ගලයා එම සමාජ මාධ්‍ය ඔස්සේම දින දෙකකට පෙර දැන හදුනාගෙන ඇති බවත් ඒ අනුව ඇයට හෝටලයකට යාමට එන්නැයි ඇරයුම් කර තිබෙන බවත් පොලිසිය පවසයි.



පොලිසිය සොයාගත් තොරතුරු අනුව තරුණිය මරණයට පත්වී මළ සිරුර රේල්පාරේ පැත්තකට තල්ලුකර දැමූ පසු මෙකී තරුණයා පළාගිය අතර ඔහු පළාගොස් ඇත්තේ හෝටලය ආසන්නයේ නවතා තිබූ පිරිස පැමිණි සුදු පැහැති හයර් කරන ලද වාහනයේ නැගී ගෙනයි.
සීසීටීවී ඔස්සේ වාහන අංකය හඹාගිය පොලිසිය මේවනවිට එකී වාහනය පදවාගෙනගිය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලබාගත් විස්තර අනුව සැකකරු පළාගිය දිශාවන් පිළිබඳ විමර්ශන සිදුවෙමින් පවතී.
අත්අඩංගුවේ පසුවන යුවළ පවසා ඇත්තේ හෝටලයේ අංක 6 හා 7 යන වායුසමීකරණ කාමර තමන් කුලියට ලබාගත් බවත් 16 වයස සහිත අයිඩෙන්ටිය දුන්නොත් හෝටලයේ ප්‍රශ්නයක් මතුවිය හැකි නිසා අසල්වාසී නිවසක වයස 20 අක්කා කෙනෙකුගේ අයිඩෙන්ටිය රැගෙන ආවේ තරුණිය විසින්ම බවත්ය.
මොවුන් සිවු දෙනාම එක් කාමරයක සිට ජොනිවෝකර් රෙඩ් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක්ද මෙහි සිට පානය කර ඇති බව හෝටල් සේවකයකු පොලිසිය හමුවේ සඳහන් කර ඇත.

අත්අඩංගුවේ පසුවන අය කියා ඇත්තේ වෙසක් පොහොයට මත්පැන් අලෙවි නොකරන නිසා පෝයට පෙර දිනයේම මෙම ගමනට සැලසුම සකස් කර  බෝතල් මිලට ගත් බවය.

මේ අතර හෝටලයේ ලියාපදිංචි දත්ත ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට ඝාතන සැකකාර තරුණයාගේ ලිපිනයක් සොයාගන්නට හැකිවූ අතර එම ලිපිනය පිහිටි නිවසට ගොස් විපරම් කිරීමේදී ඔහු එම නිවසට අවසන් වරට පැමිණ ඇත්තේ මීට දින දෙකකට පෙර බව එහි වාසය කරන තරුණයාගේ දෙවන බිරිය බව කියන කාන්තාවක පවසා තිබේ.විවාහක බිරිඳ  පවසා ඇත්තේ තම සැමියා මෙවන් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව නොදන්නා බවය. ඔහු පෙරේදා දහවල් නිවසට පැමිණ රුපියල් දෙදහසක මුදලක්ද ඉල්ලාගෙන තමන්ට පරිස්සමෙන් ඉන්න යැයි කියමින් පිටව ගිය බවද ඇය පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර නාගොඩ රෝහල ආසන්නයේ පදිංචි කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි. ඇය කළුතර ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ සහෝදරියකගේ දියණිය බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඝාතන සැකකාර තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.




සිද්ධිය සම්බන්ධ පෙර ලිපි

යාළුවො එක්ක දන්සැල් වඳින්න යන බව කියා ගොස් කරගත්ත දේ
ද්විත්ව විවාහකයෙකු සමග කළුතර ලැගුම් හලට ගිය සිසුවියගේ ඉරණම
16 සිසුවිය කළුතර ලොජ් එකේ තුන්වන මහලින් පැන්නාද? පෙම්වතා තල්ලුකරාද?