kalutara-girl-death-update

කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් ඇඳ වැටී මිය ගිය පාසල් සිසුවියගේ ජංගම දුරකතන දත්ත ලබාගෙන ඇය ඇමතුම දුන් පුද්ගලයෙන් සහ ඇයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ඒ අනුව එදින ඇය හෝටලයේ ගත කළ කාලසීමාව තුළ ඇය විසින් දුරකතන ඇමතුමක් ලබාගත් උපකාරක පන්ති ගුරුවරයකුගෙන් පොලිසියේ විමර්ශන නිලධාරීන් ඊයේ (10) දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.


 ගුරුවරයා මෙම සිසුවිය තමා හොඳින් දන්නා හඳුනන බව පවසා තිබෙන අතර ප්‍රශ්න කිරීම්වලදි සිසුවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පැවසීය. එම කරුණු සියල්ල පරීක්ෂණයේ රහස්‍යතා අවශ්‍යතා මත දැන්ම හෙළි නොකරන බව පොලිසිය පවසයි.
ඊට අමතරව ඇගේ දුරකතනයට ඇමතුම් ලද සහ ඇමතුම් ලබාගත් පුද්ගලයන් තවත් කිහිපයක් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය කියයි.
දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ ප්‍රශ්න කිරීමවලදි ඔහු පවසා තිබුණේ මියගිය සිසුවියට ආ දුරකතන ඇමතුමකින් පසුව  ඇය ඉහළ මහළේ ජනේලයකින් බිමට පැන්න බවය. ඒ අනුව එම සිසුවියගේ දුරතතන දත්ත ලබාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.


පාසල් දැරිය සතු ජංගම දුරකථනය සැකකරුවකු විසින් මුහුදට විසි කරනු ලැබීමෙන් පසු එම දුරකථනය සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවූ බව කළුතර (දකුණ) පොලිසිය කියයි.
මෙම පාසල් දැරිය සමඟ පැමිණි තරුණ යුවළගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඇගේ ජංගම දුරකථනය මෙසේ මුහුදට විසි කර ඇති බව හෙළි වී තිබිණි.
එම යුවළේ පෙම්වතා යැයි කියනු ලබන ඉෂාන් නම් පුද්ගලයා මෙම ජංගම දුරකථනය මුහුදට විසි කර ඇත්තේ එම දුරකථනයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය හැකි නිසා බව ද පොලිසියේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.