kalutara-girl-death-update

කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (15) උසාවියේ පැවති නඩු විභාගයේදී මේ සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ සොයාගැනීම් ඇසුරින් කරුණු ඉදිරිපත් විය.
ඊයේ නඩු විභාගයට ප්‍රධාන සැකකරු ධනුෂ්ක ගයාන් (29) කැඳවා නොතිබූ අතර අවශේෂ සැකකරුවන් වන පබාරා මාවින්දි (19) හා ඉෂාන් තිනුර (22) යුවළත් ධනුෂ්කගේ වාහනය පදවා ආ මිතුරාත් අවන්හලේ පිළිගැනීමේ නිලධාරිනියත් කැඳවා තිබුණි.


මෙහිදී කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ සිසුවිය මුදලට විකුණා ඇති බවට කරුණු අනාවරණය වූ බවයි. ඉෂාන් හා ධනුෂ්ක අතර මුදල් හුවමාරුවක්ද සිදුව ඇති බවට කරුනු තහවුරු කරගෙන තිබේ. ඒ අනුව සිසුවිය එදින ධනුෂ්ක හමුවට පැමිණවීමට රුපියල් 20000 ක් කථිකාකරගෙන අත්තිකාරම් ලෙස 12000 ක් ලබාගෙන ඇති බවත් ඉතිරි 8000 සිසුවිය සමග ඇසුර අවසන්වූ පසු ලබාදීමට කථිකා කරගෙන තිබූ බවත් හෙළි කර ගෙන තිබේ. ධනුෂ්ක ඉෂාන්ගේ බැංකු ගිණුමකට එම 12000 අත්තිකරම ධනුෂ්කට අයත් ගිණුමකින් ගෙවීම් කර ඇති බවටද කරුණු තහවුරු කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
මින් ඉහත ප්‍රධාන සැකකරු ධනුෂ්ක ලබාදුන් කට උත්තරයේද ‘ලස්සණ කෑල්ලක් ඉන්නවා හවසට එක්ක එන්නං‘ ලෙස සිද්ධිය වූ දිනයේ ඉෂාන් දන්වා සිටි බව කියා තිබුණි.
මේ අනුව මියගිය සිසුවියගේ මව මින් ඉහත පැමිණිලි කර තිබූ ආකාරයට තම දැරිය ‘මුදලට විකිණීමේ ජාවාරම‘ කට හසුවූ බවට කළ චෝදනාව සත්‍යය වෙමින් පවතී.
කෙසේ වෙතත් දැරිය මෙලෙස ගොස් ඇත්තේ සිය කැමැත්තෙන් බවත් ඇයට රැවටීමක් කර මුදල් ගනුදෙනුවකට අදාළ යුවළ ඇය පාවාදී ඇති අයුරුත් හඳුනාගන්නට ලැබේ.
දැනට රිමාන්ඩ් බන්ධනා ගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් තිදෙනෙකු ලබන මැයි 26 දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (15) නියෝග කළාය.

ඊයේ ඇප මත නිදහස් වූයේ අවන්හලේ පිළිගැනීමේ නිලධාරිනියයි.
රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත ඇය ඊයේ නිදහස් විය. ඇයට සෑම මසකම අවසන් ඉරුදින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරත් නියෝග කළාය.
විත්තිය වෙනුවෙන් නීතිඥ කණිෂ්ක ආර් වන්නිආරච්චි,සරත් කරවිට සහ කසුන් මදාරා යන නීතිඥ මහත්ම මහත්මින් අධිකරණය හමුවේ ඇප ලබාගන්නට උත්සාහ කළත් සාර්ථක නොවූ අතර පසුව කියා සිටියේ මියයාමට අදාලව සිදුකරන පරීක්ෂණ වලට සහය දෙන බවය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉක්මනින් ඇප ලබාදුනහොත් පරීක්ෂණ අසාර්ථක විය හැකි බවයි.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, නීතිඥ සංජීව ගුණරත්න,නීතිඥ ඔනිල් පෙරේරා සහ නීතිඥ ඉන්දික ගාල්ලගේ යන මහත්වරුන්ද සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධ විය.
නඩුව ලබන මැයි 26දා යළි කැදවීමට නියමිතයි.