tihara-story-kalutara

පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙස සේවය කළ හෝටල් හිමිකරුගේ 48 හැවිරිදි බිරිය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඇය වයස 16 සිසුවිය හෝටලයට ඇතුළත් කර තිබුනේ වයස 20 කෙනෙකුගේ හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීමේදී වැඩිදුර සොයා නොබලමිනි.



පොලිස් මාධ්‍ය ඒකකය දන්වා සිටියේ හෝටලයේ ඇතිවූ සිදුවීම මේ දක්වා කළුතර පොලිසිය විමර්ශනය කළ බවත් ඉදිරියට විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත්ය.
මේ අතර මෙම හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සවස වාර්තා විය.එම අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා විසින් ඊට අදාළ නියෝගය අද (11) නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්ට ලබා දි ඇති අතර යම් හෙයකින් අදාළ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියෙන් හා අනවසරයෙන් ඉදිකර ඇත්නම් එහි හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද දන්වා තිබේ.
පාසල් සිසුවිය මිය යෑමේ සිදුවීමට අදාළ පස්මහල් හෝටලය කලුතර නගර මධ්‍යයේ ඉතා පටු ස්ථානයක ඉදිකර ඇති අතර එවැනි ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සම්බන්ධ ගැටලුවක් පවතින බව ඔවුන් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල බද්දට ලබාගත් එක්ක වන අතර එය ඉදිකර ඇත්තේ හෝටල් හිමිකරු නොවන බවද වාර්තා විය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරු ධනුෂ්ක හා අවශේෂ සැකකරුවන් වන පබාරා හා ඉෂාන් තවම රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ. සැකකරුවන් මෙය සියදිවිනසාගැනීමක් ලෙස ඒත්තු ගන්වන්නට උත්සාහ දරා ඇති අතර ලැබී ඇති සාක්ෂි මගින් මෙය තවමත් ඝාතනයක්ද යන්න ගැන අවිනිශ්චිත තත්වයක් පවතින බව පොලිස් ආරංචි හෙළි කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන් පරීක්ෂණ භාරදී ඇති නිසා ඔවුන් මෙහි නිවැරදි තත්වය සොයාගනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශ්වාසය පළ කළේය.