kalutara-maths-sir-arrested

පසුගිය දිනවල කථාබහට ලක්වූ සිසුවියන් 16 දෙනෙකු අපයෝජනය කළ බව කියන කළුතර උපකාරක පන්ති ගුරුවරයා අද (11) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඔහු පසුගිය දිනවල පොලිසිය සොයමින් සිටි අතර අද පැමිණ භාරවී තිබේ.
 30 හැවිරිදි ඔහු උපකාරක පන්ති ගණිත ගුරුවරයෙකු වන අතර විවාහකයෙකි.
ඔහුගේ බිරිඳ ද ඔහුට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබුණි. ඔහුගෙන් අතවරවලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිලධාරිනියකගේ දියණියක් ද සිටි බව පැවසිණි.


ඔහු දැරියන්ට ලිංගික අතවර කිරීම් සිදුකරන අතරතුර සිදුකළ වීඩියෝ පටිගත කිරීම් 16ක් සම්බන්ධයෙන් අනාවරණය වී ඇති අතර අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසයි.
කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා ඇති අතර එහි දැරියන් ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සැකයට ලක්ව ඇත.

සැකකාර ගුරුවරයා අනියම් සම්බන්ධතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන් අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර තිබීමෙන් පසු මෙම 16 දෙනෙකුගේ අපයෝජන අනාවරණය විය.

මෙම උපකාරක ගුරුවරයා අතින් අපයෝජනයට ලක් වූ දැරියක් වේ නම් කළුතර උතුර පොලීසිය අසල පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස පොලීසිය ඉල්ලා තිබේ.