kandy-accident

මහනුවර ධර්මරාජ විද්‍යාලය ඉදිරිපිටින් කහඉරෙන් පාරමාරුවූ පියපුතු දෙපළක් අනතුරට ලක්කර මරණයට පත් කළ සිදුවීමකට අදාළව ශ්‍රිලනිප මහනුවර පහතහේවාහැට සංවිධායක ලබන 26 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරයකු මෙන්ම කරාටේ උපදේශකවරයකුද වන ගාමිණි විජය බණ්ඩාර ය.

මෙම අනතුර සිදුකර තිබුණේ පෙරේදා (16දා) රාත්‍රී 08.10 ට පමණය. පියපුතු දෙපළ කහ ඉර මාරුවන අවස්ථාවේදී අපරීක්ෂාකාරි අන්දමින් ධාවනය වූ ජීප් රථය ඔවුන්ව යටකර ඇතැයි කියයි.



මෙම අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්දික සම්පත් රුද්‍රිගෝ නමැති 42 හැවිරිදි පුද්ගලයකු සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින විමන්ත රොද්‍රිගෝ නමැති 11 හැවිරිදි පුතුය.

අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා කරාටේ උපදේශකයකු වන අතර ඔහු විසින් පවත්වන ලද කරාටේ පන්තියක් නිමකර නිවස බලා යන අතරතුරදී මෙම අනතුර සිදුව ඇත. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මහනුවර මූලස්ථාන පොලිසිය විසින් සිදුකරනු ලබයි.

මේ අතර ඇතුල්කෝට්ටේ මේ අතර ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ධාවනයේ යෙදුණු ත්‍රිරෝද රථයක් කහ ඉර මතින් මාරු වූ මවක් සහ පුතු යටකරගෙන යමින් සිදුකළ අනතුරකින් මව මියගොස් තිබේ.



මෙලෙස මියගොස් ඇත්තේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ලලිතා පෙරේරා නැමති 70 හැවිරිදි කාන්තාවකි. ඇය සිය පුතු සමගින් නිවස අසල ‍වෙළෙඳසලකට පැමිණ සිටියෙදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුකළ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරින් පසු ත්‍රිරෝද රථය පෙරළී යාමෙන් වූ තුවාල නිසා රියැදුරු ද මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලැබ සිටියි.