kesbewa-incident

“වසර 13ට දළ වශයෙන් පැය එක් ලක්‍ෂ විසිතුන් දාහක් සේවය කළත් එක මාසයකවත් අතිකාල දීමනාවක් ලැබුණේ නැති බව ඉතාමත් කනගාටුවෙන් දැනුම් දෙමි” යයි ලිපියක් ලියූ කැස්බෑව මාකන්දන සමුපකාර මල් ශාලාවේ කළමනාකරුවකුගේ සිරුර මල් ශාලාව පිටුපස කොටසේ එල්ලෙමින් තිබියදී ඊයේ (17 වැනිදා) සොයාගත් බව කැස්බෑව පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ, පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කළ පහළ කෑගල්ල විල්ගමුව පදිංචිව සිටි ඩී.කේ. කිත්සිරි නමැති 64 හැවිරිදි පුද්ගලයෙකි.



මල්ගාලාවේ රියැදුරකු ඊයේ (17 වැනිදා) පෙරවරුවේ සේවය සඳහා පැමිණි අවස්ථාවේදී කළමනාකරු ලෙස සේවය කළ මියගිය පුද්ගලයාගේ සිරුර, පිටුපස කොටසේ බාල්කයක ලණුවකින් එල්ලෙමින් තිබියදී දැක තිබූ බව පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කැස්බෑව පොලීසිය, කළමනාකරු ලියූ බවට සැක කරන ලිපිය මේසයක් මත තිබී සොයාගෙන ඇත. සාමාන්‍යාධිකාරිවරයා අමතා ලියූ ලිපියේ මෙසේ ද සඳහන් වේ.

“මා හට පඩි වැඩි කරන ලෙස ලිපියකින් දැනුම් දුන්නත් ඒ ගැන දෙපාර්තමේන්තුව නොසලකා හැරිම ගැන මා කනගාටුවට පත් වෙනවා. ඒත් මගේ සේවා කාලය උදේ 8 සිට සවස 5 දක්වා නමුත්, පැය 24ක සේවා කාලය තුළ මුර වැටුපක්, රිය සහායක වැටුප් හා කම්කරු වැටුපක් නොමැතිව වසර 13ක් ඉක්මවා සේවය කර ඇත.

වැරැද්දක් සිදු වූ විට එය පසුපස ආවා මිස මා හට වූ අසාධාරණය ගැන අපොහොසත් වීම ගැන ඉතාමත් කනගාටුවට පත් වෙනවා. ස්තූතියි. මෙයට, කළමනාකරු කිත්සිරි.” යනුවෙන් එහි සඳහන් කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.මරණය සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට ද නියමිතය.

  බිමල් ශ්‍යාමන් ජයසිංහ