කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩදියලුමේ රාත්‍රි ගතකරමින් සිටි යුවළට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මියගිය එච්. තරුෂි කවීෂා නමැති තරුණියගේ මරණය සමබන්ධයෙන් දියතලාව මූලික රෝහලේ ඉකුත්දා (12) සවස හල්දුම්මුල්ල හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්. රත්නවීර මහතා ඉදිරියේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී තරුනියගේ පෙම්වතා මෙසේ සිටියේය.
අපි කුඩාරමක් ගහගෙන හිටියා. රෑ 10.30ට විතර අලියා ආවා. අපි ළඟට අලියා එන එකක් නැතිවෙයි කියලා අපි කූඩාරම ඇතුළෙ ගුලිවෙලා හිටියේ. එතකොටම වගේ අලියා ඇවිත් අපි හිටපු කූඩාරම පෑගුවා. අපි හිටපු තැන ෆොන්වලට හරියට සිග්නල් නෑ. මම ගොඩාක්වෙලා උත්සාහ කළා. යාළුවන්ගේ ෆොන්වලට ගන්න. ඒ අයගේ ප්‍රතිචාරයක් තිබුණේ නෑ. ෆොන් වැඩ කළේ නෑ. මම බඩගාගෙන බඩගාගෙන සිග්නල් තියෙන තැනකට ගිහින් පාන්දර 5.30 ට විතර 1990 ටයි යාළුවන්ටයි ගත්තා. ඊට පස්සේ තමයි ඒ අය අප හොයාගෙන ආවේ යැයි මියගිය එච් තරුෂි කවීෂා නම් තරුණියගේ පෙම්වතා වන ධනුෂ්ක මධුශාන් කළුආරච්චි කියා සිටියේය.
වැඩිදුරටත් සාක්ෂි දෙමින් තරුණියගේ පෙම්වතා මෙසේද කියා සිටියේය.
අපි බැඳලා නෑ. යාළුවෙලා හිටියේ. එයා මාතර, කුරුණෑගල නර්සින් හෝම් එකක ඉගෙන ගන්නවා. අපි කුරුණෑගල ඉඳලා ඊයේ පාන්දර ආවේ .ඒ ආවේ හපුතලේට. ඒ ඇවිත් හපුතලේ ඉන්න මගේ යාළුවෙක්ගේ ගෙදරට ගියා. ඊට පස්සේ එයත් එක්ක උඩදියලුම යන්න ආවා. හපුතලෙන් පිටත්වුණේ හවස තුනට විතර උඩදියලුමට එනකොට හවස පහ හමාරට විතර ඇති. මගදී මග පෙන්වන්න තරුණයකු සම්බන්ධ කරගත්තා. එයා අපිව උඩදියලුමට එක්කගෙන ආවා. ගාස්තුව විදිහට රුපියල් 1000ක් මම දුන්නා. ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර් දෙක හමාරක් විතර ආවා. අපි උඩදියලුමේ එළි පෙහෙලිකරලා තිබුණ තැනක කූඩාරම හදාගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉන්නම් කියලා එයාලට යන්න කිව්වා.
දහය හමාරට විතර අලියා ආවා. අපි සද්ද නැතුව කූඩාරම ඇතුළට වෙලා ගුලිවෙලා හිටියා. අපි හිතුවේ නෑ අලියා එයි කියලා. එක පාරම ඇවිත් කූඩාරම පෑගුවා. එහෙම පාගලා අලියා ගියා. අරයගෙ බඩයි පපුවයි පාගලා තිබුණා. මගේ වම් අත උරිස්ස පැත්ත පොඩිවෙලා වගේ තිබුණා. එයා වතුර ඉල්ලුවා. අමාරුවෙන් කතා කරකර හිටියා. වම් කකුල කැඩිලා තිබුණේ. ඒක සනීප කරගන්න පුළුවන් වෙයි නේද කියලත් ඇහුවා. යාළුවන්ට කතා කරන්න සෑහෙන්න උත්සාහ කළා. ඒත් බැරිවුණා. 11.59ට විතර අලි එනවා කියනකොටම කට්වුණා. ඒ ඇවිල්ලා බලන කොට එයා නැතිවෙලා. ඒ වෙලාවේ ඉඳන් මම ඊට පස්සේ ගලක් තියෙන හරියකට බඩගාගෙන ගිහින් කෝල් ගත්තා. කවුරුවත් සම්බන්ධ කරගන්න බැරිවුණා.පාන්දර තමයි කතා කරගන්න පුළුවන් වුණේ. උදේ හයයි තිහට විතර ගමේ අයයි 1990 අයයි ඇවිල්ලා මාව රෝහලට අරගෙන ගියා.
මියගිය තරුණියගේ පියා වන වී.ජී. රත්නසිරි මහතා මෙසේ කියා සිටියේය.
මියගිය දුව කුරුණෑගල නර්සිහෝම් එකේ පාඨමාලාවක් කරමින් හිටියා. දැනට වසරක පමණ ඉඳලා. මේ 14 වෙනිදා එයාට ආයතනයක රැකියාවක් බාරගන්න තිබුණා. එහෙම තියෙද්දී තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ගමන ගැන අපි කිසිම දෙයක් දන්නේ නෑ. අපට කිව්වෙත් නෑ. මම හිතනවා වන අලියෙකුගේ පහරදීමෙන් දුව මියයන්න ඇති කියලා.
දියතලාව මූලික රෝහලේ පැවති මෙම හදිසි මරණ පරීක්ෂණය හල්දුම්මුල්ල හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්. රත්නවීර මහතාගේ ප්‍රධානත්වෙයන් පැවති අතර මරණ පරීක්ෂණයට පෙර ඒ මහතා සමග කොස්ලන්ද පොලිස්ථානයේ නිලධාරීහු පිරිසක් සිද්ධිය වූ ස්ථානයේ නිරීක්ෂණයක්ද සිදු කළහ. මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ මහතා විසින් කරනු ලැබීය. වන අලි ප්‍රහාරය හේතුවෙන් පපුවට හා උදරයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට ඒ මහතා නිගමනය කළේය.
අයි ආර් ඉන්දික
0 Comments