kurunegala-doctor

අනියම් බිරියගේ දරු ගැබ ඉවත් කර ගබ්සාවක් කර දෙන ලෙසට තර්ජනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුට පහර දීමට තැත් කළ තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පෙරේදා (08) පස්වරුවේ මෙම සිදු වීම සිදු වී ඇති බව පවසයි. සැකකාර තරුණයා මැල්සිරිපුර පොලිස් බළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි. ළාබාල ගැබිණියක බව කියන ඔහුගේ අනියම් බිරිය ද මැල්සිරි පුර ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
දෙදෙනා අතර පැවති අනියම් සබඳතාවයකින් පසුව කාන්තාව ගැබ්ගෙන ඇති අතර සති 29ක පමණ නොමේරු දරු කළලයක් සහිත ඇය තමන්ට අමාරු බව පවසමින් ප්‍රතිකාර සඳහා මීට දින දෙකකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්වී ඇත.


එදින පටන් තම අනියම් බිරිය බැලීමට සැකකරු රෝහලට පැමිණ ඇති බවද එහිදී ඔහු අසාධ්‍යව සිටින ඇයගේ දරු ගැබ ඉවත් කර දෙන ලෙසට ප්‍රතිකාර ඒකකයේ කාර්ය බාර වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවද පවසයි. දරු ගැබ ඉවත් කර ඇගේ ජීවිතය බේරා දෙන ලෙසට සැකකරු වෛද්‍ය කාර්ය මණ්ඩලයට නිරන්තරයෙන්ම බල කිරීම කරගෙන ගොස් ඇති අතර එම ඉල්ලීම
ප්‍රතික්ෂේප කළ වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැබිනිය පක්ෂා කිරීමෙන් පසුව ඇයට හෝ ඇයගේ කුස තුළ සිටින දරුවාට කිසිදු අවදානම් තත්ත්වයක් නැති බවද ඔහුට පහදා දී ඇත.
වෛද්‍යවරුන් පවසන දේ තරයේම ප්‍රතික්ෂේප කළ තරුණයා අනිවාර්යයෙන්ම තම අනියම් බිරිය ගබ්සා කරන ලෙසට වෛද්‍ය කාර්ය මණ්ඩලයට බල කරමින් ආවේගශී ලීව හැසිරීමට පටන් ගෙන ඇත.
මෙම තත්ත්වය මත ඔහුට කරුණු පැහැ“ දිලි කර දීම සඳහා එම ප්‍රතිකාර ඒකකය භාර ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයෙකු තම නිල කාමරයට ඔහු කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද කරුණු පිළි නොගත් සැකකරු එම වෛද්‍යවරයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඔහුට පහර දීමට උත්සාහ දරා ඇත.

පහර දීම වැළැක්වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් වූ අවස්ථාවේදී සැකකාර තරුණයා රෝහලෙන් පිටතට පලා ගොස් තිබේ. මේ සම්බන්ධ යෙන් වාට්ටුවේ කාර්ය මණ්ඩලය රෝහල් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම සිද්ධියෙන් පසුව ගමෙන්ද පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ සිදු කරමින් සිටී. වෙනත් චෝදනාවක් යටතේ බන්ධනා ගාරගතව සිට ඇති සැකකරු ඒ සම්බන්ධ යෙන් පැවැත්වෙන නඩුවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින අයෙකු බවද පැවසේ.

කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න