ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ලෙස නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය ජනපතිවරයා විසින් පත් කර තිබේ. ඇයගේ පත්වීම මැයි 23 සිට බලාත්මක වනු ඇත.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඉවත්ව යාමෙන් පසු මේ දක්වා නියෝජ්‍ය මහලේකම්වරිය ලෙස කටයුතු කළ ඇයට මෙම පත්වීම හිමිවිය. මෙරට පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත් දෙවන කාන්තාව ඇයයි.
රෝහණධීර මහත්මිය 1999 වසරේ පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස පාර්ලිමේන්තු සේවයට එක් වූවාය.
2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් (පරිපාලන සේවා) ලෙස කටයුතු කර ඇති අතර නියෝජ්‍ය මහලේකම් ධූරය 2020 වසරේ ලබාගෙන ඇත.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තාය.
පසුව ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා නීති විද්‍යාල විභාගය සමත්ව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙසද දිවුරුම් දී ඇති තැනැත්තියකි.
ඇයගේ සැමියා වන්නේ ප්‍රකට නීතීඥවරයෙකු මෙන්ම ජනපති රනිල් වික්‍රමසිංහගේ නීති අධ්යක්ෂ ජනරාල් ධුරය දරන හරිගුප්තා රෝහණධීරයි. කුෂානි නැසීගිය ප්‍රවීණ ඉතිහාසඥයෙකු වන මහාචාර්ය මැන්දිස් රෝහණධීරගේ ලේලියයි.
0 Comments