man-who-fathered-550-children-banned-from-donating-sperm-by-dutch-cour

නෙදර්ලන්තයේ වෙසෙන ශුක්‍රාණු දායකයෙකුට තවදුරටත් සිය ශුක්‍රාණු ප්‍රදානය තහනම් කරමින් නියෝගයක් පැනවීමට එරට අධිකරණය පසුගියදා පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. මොහු 41 හැවිරිදි වියේ පසුවන ජොනතන් නමැත්තෙකු ලෙස හඳුනාගෙන තිබේ. වාර්තා සදහන් කරන ආකාරයට ඔහු මේ දක්වා එරට සාඵල්‍යතා සායන වෙත ප්‍රදානය කර ඇති සිය ශුක්‍රාණු හේතුවෙන් නෙදර්ලන්තයට අමතරව ලොව පුරා දරුවන් 550දෙනෙකු උපත ලබා තිබෙන බව පැවසෙයි. ඒ අනුව, මෙය ඔහු විසින් එම ප්‍රදානයන් අවභාවිත කිරීමක් ලෙස සලකා අධිකරණය මෙම තීරණය ගෙන තිබේ.

ඔහු මෙම තීරණයට එරෙහිව යමින් යළිත් සිය ශුක්‍රාණු ප්‍රදානය කිරීමට උත්සාහ කළහොත් ඔහුට එරෙහිව යූරෝ ලක්ෂයක දඩයක් පමුණු වන බවත් අධිකරණය දැනුම් දී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ජොනතත් සිය ශුක්‍රාණු ප්‍රදානය ආරම්භ කර ඇත්තේ 2007 වසරේදීය. එනම් ඔහුගේ වයස අවුරුදු 25කි. එහෙත් 2017 වසරේදී ඔහුට නෙදර්ලන්තය තුළ ක්‍රියාත්මක සායන මධ්‍යස්ථාන වෙත සිය ශුක්‍රාණු ප්‍රදානය කිරීම තහනම් කර තිබේ. ඒ වන විටත් ඔහු දරුවන් 100දෙනෙකුට වැඩි පිරිසකට පියෙකු වී ඇති බවට අනාවරණය වීම ඊට හේතුව විය.

කෙසේ වෙතත් ඔහු සිය කටයුතු අත්නොහැර ඉන් පසුව අන්තර්ජාලය හරහා සිය ශුක්‍රාණු විදෙස් රටවල සාඵල්‍යතා මධ්‍යස්ථාන වෙත අලෙවි කර තිබේ. ඒ අනුව ඔහු විසින් මේ දක්වා එම ප්‍රදානයන් සිදු කළ ලොව සියලුම රෝහල් සහ සායන පිළිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙසද හේග් අධිකරණය දැනුම් දී තිබේ. එසේම එම සායන මගින් මේ දක්වා ආරක්ෂිතව තබා ගෙන ඇති ඔහුගේ ශුක්‍රාණු විනාශ කරන ලෙසද දැනුම් දී තිබේ. නෙදර්ලන්තයේ පවතින  සායනික නීතිරීතිවලට අනුව යම් කිසි ලියාපදිංචි  ශුක්‍රාණු දායකයෙකු පවුල් 12ක දරුවන් 25දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා පියෙකු බවට පත්  නොවිය යුතු බව සඳහන් කෙරි ඇත.

විශේෂයෙන්ම මෙම දරුවන් නොදැනුවත්කම නිසා අනාගතයේදී අඹුසැමියන් බවට පත්ව දරුවන් බිහි කිරීම අඩු කිරීමේ උත්සාහයක් ලෙස මෙලෙස එම ශුක්‍රාණු දායකයන්ගේ සේවාව සීමා කිරීමට තීරණය කෙරී තිබේ. කෙසේ වෙතත් විනිසුරුවරුන් පවසන ආකාරයට ඔහු සිය ශුක්‍රාණු ප්‍රදානය ආරම්භ කළ 2007 වසරේ සිට ගත වූ කාලසීමාවේදී දරුවන් 550ත් 600ත් අතර සංඛ්‍යාවක් බිහි කිරීම සඳහා දායක වී ඇතැයි සඳහන් වෙයි. මෙලෙස ශුක්‍රාණු දායකත්වයෙන් බිහිවුණු දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම පිළිබඳ පදනමක් සහ ඔහුගේ ශුක්‍රාණු ලබාගෙන බිහිවුණු දරුවෙකුගේ මවක් එක්ව ඔහුට ගොනු කළ නඩුවක් හේතුවෙන් ඔහු මෙලෙස අධිකරණය ඉදිරියට කැඳවා තිබේ.



වාර්තා සඳහන් කරන ආකාරයට මෙම පුද්ගලයා නෙදර්ලන්තයේ සායන වෙත ලබාදුන් ශුක්‍රාණු මගින් දරුවන් 100දෙනෙකුට වැඩි පිරිසක් බිහිව තිබේ. එසේම ජොනතන් වෙනත් නෙදර්ලන්ත සායනයක් වෙත ප්‍රදානය කළ ශුක්‍රාණු ප්‍රමාණයක් තවත් රටවල් රැසක් වෙතම ලබා දී තිබේ. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය තවදුරටත් මෙලෙස දරුවන් ලබා ගැනීම සඳහා අපේක්ෂාවෙන් සිටින කිසිදු මවක හෝ පියෙකු සම්බන්ධ කරගැනීමත් තහනම් කර තිබේ. එසේම කිසිදු මවකට හෝ පියෙකුට මෙන්ම කිසිදු සංවිධානයකටවත්, ඔහුගේ සේවය ලබා නොගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ. වාර්තා සඳහන් කරන ආකාරයට මෙම පුද්ගලයා මේ දක්වා මවුපියන් වෙත වැරදි තොරතුරු ලබා දෙමින් මෙලෙස සිය දායකත්වය ලබා දී ඇතැයි අනාවරණය වී තිබේ.