medical-student-issue

වෛද්‍යවරුන්ගේ හිඟය නිසා සමහර රෝහල්වල කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවෙමින් තිබියදී වෛද්‍ය ශිෂ්‍යයන් 400ක් පමණ සීමාවාසික පුහුණවට බඳවා ගැනීම මාස 05ක කාලයක සිට ප්‍රමාද කරමින් සිටින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සදහන් කරයි. පසුගිය වසරේ වෛද්‍ය පීඨවල පැවති අවසන් වසර විභාගයේ පළමුවර අසමත් වීම නිසා දෙවැනිවර විභාගයට පෙනී සිටි ශිෂ්‍යයත් 275ක් හා පසුගිය වසරේදී විදේශ වෛද්‍ය පීඨවලින් උපාධිය සමත් 125කට ආසන්න පිරිසක් මේ ආකාරයට සායනික පුහුණුවට බඳවාගත යුතුව සිටින බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් මහතා පැවසීය.



මෙම පිරිස් ආසන්න වශයෙන් මේ වසරේ ජනවාරි මාසය වනවිටවත් බඳවා ගැනීම සිදුකළ යුතුව තිබූ බවත්, එහෙත් මෙතෙක් මෙම පිරිස් සායනික පුහුණවට බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් පවසා සිටි ඒ මහතා, මේ වසරට අදාළව වෛද්‍ය පීඨවල අවසන් වසරේ විභාගවලින්ද 90% මේ වනවිට අවසන් වී තිබෙන බවද ප්‍රකාශ කළේය. අවසන් වසරේ විභාග ප්‍රතිඵල නිකුත් වී කෙටි කාලයක් තුළදී දෙවැනිවර විභාගය පැවැත්වෙන බවත්, එහෙත් දෙවැනිවර විභාගය සමත් වන පිරිස් කඩිනමින් සායනික  පුහුණුවට බඳවා ගැනීමට වැඩපිළිවෙළක් නොමැති බවත් වසන්ත අල්විස් මහතා සඳහන් කළේය. මෙම 275 දෙනා පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට දෙවැනිවර විභාගයට පෙනීසිට ඉන් සමත් වී තිබෙන බවත්, මේ ආකාරයට සායනික පුහුණවට බඳවා ගැනීම ප්‍රමාද කිරීම තුළින් සිදුවන්නේ, මෙම ශිෂ්‍යයන්ගේ තරුණ කාලය තුළද රටට සේවයක් ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වීම බවත් හෙතෙම පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ