meerigama-date-nabbed

මීරිගම කල්ඵළිය ප්‍රදේශයේ කේක් නිෂ්පාදනය සදහා පළතුරු සකස් කරන ආයතනයක කල් ඉකූත් වූ හා පණුවන් සහිත රට ඉඳි කිලෝ 750ක් පමණ වෙළෙඳ පොළට නිකුත් කිරීමට සකස් කරමින් තිබිය දී ගම්පහ පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබීය. ගම්පහ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ආයතනය වටලන අවස්ථාවේ එහි නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පැවැති බව අනාවරණය විය.

කල් ඉකුත් වී පණුවන් ගසන ලද රට ඉඳි කිලෝ 750ක් පමණ කර්මාන්ත ශාලාව තුළ තිබිය දී සොයා ගැනීමට මෙම වැටලීම කළ නිලධාරීන්ට හැකිවී ඇත.

මෙහි සකස් කරන ලද පලතුරු, කේක් සෑදීම සඳහා කල්මුනේ ප්‍රදේශයටත් අවට ප්‍රදේශවල බේකරි වලට  සහ  වෙළඳසැල්වලට ද බෙදාහැර ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත. ඉතා අපිරිසුදු පරිසරයක් තුළ පළතුරු සකස් කිරීම් මෙම කර්මාන්ත ශාලාවේ සිදු වී ඇති අතර පලතුරු නිෂ්පාදන භාජන විවිධ කෘමි සතුන් වැටී එම සතුන් සමගම පලතුරු අඹරා ඇති ආකාරය දැකගත හැකි වූ බව පාරිභෝගික සේවා නිලධාරීහු පැවසූහ. කොළඹ පිටකොටුව ප්‍රදේශයෙන් මිලදී ගන්නා නරක් වූ රට ඉඳි මෙම ස්ථානයට ගෙනැවිත් නැවත සකස් කර වෙළෙඳ පොළට නිකුත් කරන බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත.



කර්මාන්ත ශාලාව වටලන අවස්ථාවේ එහි හිමිකරු කිසියම් කටයුත්තක් සඳහා බැහැරව  ගොස් ඇත. නිලධාරීන් අයිතිකරුට එරෙහිව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ අතර කම්හලේ වැඩ කළ සේවකයන් හතර දෙනකු නිලධාරීන් භාරයට ගෙන බැඳුම්කරයක් මත නිදහස් කර හිමිකරුට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට දැනුම් දෙනු ලැබීය. නිලධාරීන් භාරයට ගත් රට ඉදි තොගය මුද්‍රා තැබූ අතර අධිකරණ තීන්දුවක් ලැබෙන තුරු කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට නිලධාරීහු පියවර ගත්හ.
තිලකරත්න දිසානායක