ආර්ජන්ටිනා පාපන්දු නායක මෙන්ම ලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ලයනල් මෙසීට සති දෙකක තරග තහනමක් පැනවීමට ඔහු ක්‍රීඩා කරන ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම ක්‍රියා කර ඇත. ඒ ඔහු ක්‍රීඩා සමාජයේ අවසරයකින් තොරව සෞදි අරාබියේ සංචාරයක නිරත වීම හේතුවෙනි. මේ දිනවල ප්‍රංශ පාපන්දු ලීගයට සහභාගි වී සිටින මෙසි එම තරගාවලියේ ලෝරියන්ට් කණ්ඩායම සමගින් පැවැති තරගයට පසු මෙම සංචාරයේ නිරත වී ඇත.



මෙම තරගයෙන් ගෝල 3-1ක පරාජයක් පැරිස් කණ්ඩායම අත්වින්දේය. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු මෙම සංචාරයට යාම සඳහා පැරිස් කණ්ඩායමෙන් ඉල්ලීම් කර ඇතත්, කණ්ඩායම විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි. මෙසීට පැනවූ මෙම සති දෙකක තරග තහනම් කාලය තුළදී ඔහුට ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හෝ පුහුණුවීම්වල නිරත වීමට නොහැකිය. මෙවර ලෝක කුසලානය දිනූ ආර්ජන්ටිනා කණ්ඩායමට නායකත්වය සැපයූ මෙසී ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් අතරින්ද කෙනෙකි. ඔහු මේ වන විට සෞදි අරාබියේ සංචාරක තානාපතිවරයෙකු ලෙසින්ද ක්‍රියා කරයි.

ඕෂිත වරකපිටිය