
කුසට අහරක් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ පසු වූ 12 හැවිරිදි දැරියක සහ ඇයගේ බාල සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. බාල සොහොයුරන් දෙදෙනා අවුරුදු 7 සහ 8 යන වයස්වල පසුවන අතර ඔවුන්ට දින ගණනාවකින් නිසි ආහාරයක් ලැබී නොතිබුණ බව ද ඇඳ හිටි ඇඳුම් පවා හැරහැලි බව ද පොලිසිය කියයි. මෙම පිරිස පොලිස් බාරයට ගනු ලැබුවේ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසිනි.
මෙම දරු තිදෙනාගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි.
මව රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරි සිටියදී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පිරිමි දරු දෙදෙනා කලක් පාසල් ගොස් ඇති බවත් අගහිඟකම් නිසා පාසල් ගමන අතහැර ගොස් ඇති බව පොලිසිය කීය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් සම්බන්ධ නිලධාරීනිය විසින් පොලිසියට කරන දැනුම්දීමක් මත මිනුවන්ගොඩ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනිඋප පොලිස් පරීක්ෂක එම්. කේ. රමනි මහත්මිය විසින් දරු තිදෙනා පොලිස් භාරයට ගෙන මව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කරයි. අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරු තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙසට ඉල්ලා සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ටෝනි කරුණානායක
Comments
Post a Comment
Your comment will be visible after approval