සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් පැන මියගිය 41 හැවිරිදි නදීකා දිල්හානි ප්‍රනාන්දු නමැති කාන්තාවගේ දේහය අද (20) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.
ඇය සේවය කළ නිවසේ ප්රශ්නකාරී තත්වයන් මත ඇතිවූ මානසික පීඩනය නිසා ඇය ඉහළ මහළින් පැන දිවිනසාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්ද මාධ්‍ය වෙත වාර්තාවී තිබුණි. එසේම ඇය ඇගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මිතුරියන්ට දන්වා සිටි හඩ පට දෙකක්ද ප්‍රසිද්ධ විය.
වාර්තාවන ආකාරයට ඇය මෙලෙස මියයන්නේ ඉන්දියාවේ සිට සිංගප්පූරුවට සංක්රමණයවූ පන්ජාබ් ජාතික පවුලක් වාසය කරන නිවාස ඒකකයක ඇතිවූ ප්‍රශ්න නිසාය.එම නිවසේ විදුලි බිල වැඩිවුවත් ඇයට බනින බවත් වැඩක් හරියට කරත් නිකරුනේ හැම දෙයටම බනින බවත් කියමින් ඇය මිතුරියන්ට එහි ඇති ප්‍රශ්න විස්තර කර තිබූ අතර මියයන දිනයේ ඇයව කිසියම් වරදක් පෙන්වා පොලිසියට රැගෙන යනු ඇතැයි බියෙන් අවුල් සහගතව මිතුරියන්ට දන්වා තිබුනේ තමාගෙන් සද්දයක් නැති වුනොත් ඒජන්සියට දන්වන ලෙසයි.
ඇය නිවසේ ජනේලයෙන් ස්ලැබ් එකකට බැස එතැන මිනිත්තු ගණනක් විලාප දෙමින් සිට බිමට පනින අතර ඒ අවස්ථාවේ ඉදිරිපස මහල් නිවාස ඒකකයේ විදේශීය කාන්තාවක මෙම සිදුවීම වීඩියෝවකට නගාගෙන තිබුණි.
ඇයගේ ඥාතීන් පවසන්නේ ඇය සේවය කළ නිවෙස්හිමියාගෙන් එල්ලවූ දැඩි මානසික පීඩනය දරාගත නොහැකි තත්ත්වයකින් ඇය පසුවූ බවය.
දංකොටුව, මොටැමුල්ල ප්‍රදේශයේ පදිංචි නදීකා මීට ඉහත සයිප්‍රස් සහ තුර්කියේ වසර 10ක් සේවය කළ ගෘහ සේවිකාවකි.
ඇය ඉන් උපයාගත් මුදලින් දෙමහල් නිවසක් ඉදිකිරීම අරඹන අතර ඇඟලුම් ව්‍යාපාරයක් සඳහා ද ඇය මුදල් ආයෝජනය කර තිබුන බව පැවසේ.
නිවසේ ඉහළ මහළයේ වැඩ නිමකිරීමට තරම් ආරම්භ කළ ව්‍යාපාරයෙන් මුදල් නොලැබූ නිසා නදීකා නැවතත් පසුගිය දෙසැම්බර් 03 වනදා ගෘහ සේවය සඳහා සිංගප්පූරුවට ගොස් තිබුණි. ඇය රැකියාවට යොමුකරන්නේ, කුරුණෑගල විදේශ රැකියා ආයතනයක් හරහාය.
ඥාතීන් පවසන්නේ, මුලින් ගිය නිවසේ වැඩ අධික බවත් දෙන කෑම ආහාරයට ගැනීමට නොහැකි බවටත් සිදුකළ දැනුම්දීමෙන් පසුව රැකියා ඒජන්සිය ඇය වෙනත් නිවසකට මාරු කළ බවයි. ඇය දෙවනුව යන්නේ මෙකී සංසිද්ධිය සිදුවන මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලේ නිවසටයි.
මියගිය නදීකා ඇය සේවය කළ අවසන් නිවසට රැකියාවට ගොස් ඇත්තේ මේ වසරේ අප්‍රේල් මස 09 වැනිදාය. පන්ජාබ් ජාතික පවුලක් වාසය කළ ඔවුන් සමග කටයුතු කිරීම ඉතා අසීරු බව ඇය පවසා තිබේ. දින කිහිපයක් සේවය කළ නදීකා ඥාතීන්ට දැනුම් දී ඇත්තේ, නිවෙස්හිමියා දැඩි සැර පරුෂ අයෙක් බවයි.
නැවත නැවත සේවා තැන් වෙනස් කිරීම අපහසු බවද ඇයව ලංකාවට එකරවර ගෙන්වීම අපහසු බවද කියමින් විදේශ රැකියා ආයතනය ඇගේ දෙවන ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ මන්දගාමී ලෙසයි.
පසුගිය 16 වනදා ඇය මියගිය දිනයයි. එදින උදෑසනම නදීකා සිය සැමියාට කෙටි දුරකථන ඇමතුමක් ගෙන තිබුණත් වැඩි දෙයක් කියා තිබුනේ නැත. සිය යෙහෙළියට හඬපටයක් යොමු කර තමාට එල්ලවන පීඩනය ඇය සාක්ෂියක් ලබාදී තිබුනේද එදිනයි.
දවසට දෙවරක් නිවසට ඇමතුම් ගන්නා නදීකාගේ දෙවන ඇමතුම නොලැබීම හේතුවෙන් ඇයගේ සැමියා විදේශ රැකියා ඒජන්සිය අමතා කරුණු විමසා සිටීමේදී කියා ඇත්තේ නදීකා තමන් සේවය කළ නිවස පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් වැටී මියගොස් ඇති බවය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපල, බලපත්‍ර හා ප්රචාරක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අයි.පතිනායක මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් ඊයේ (19) නිකුත් කර තිබූ අතර එහි දැක්වෙන්නේ,
'පසුගිය වසරේ නොවැම්බර් 18 වන දින කාර්යාංශයේ ලියාපදිංචිය ලබා එම සේවක මහත්මිය විදේශගතව ඇති නමුත් විදේශගත වූ පසු ඇයගේ සේවා ස්ථානයේ ගැටළු පවතින බවට කාර්යාංශයට හෝ එරට ශ්‍රී ලංකා තනාපති කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදු කර නොමැති බවත් කාර්යාංශය ප්‍රකාශ කරයි. කෙසේ වුවද වාර්තා වී ඇති තොරතුරු පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් සිදුකර මේ පිලිබඳව අවශ්‍ය පියවර
ගනුලබන බව කාර්යාංශය දැනුම් දෙයි .'
යනුවෙනි.
ඇය අවසන් වරට සේවය කළ නිවසේ ගැටලු ගැන තමාට දුරකථනයෙන් දැනුම් දුන් බවත් අවස්ථා කිපයක දී ලංකාවේ සහ සිංගප්පූරුවේ රැකියා ඒජන්සියට දැනුම් දී ඇතැයි ඇයගේ ළඟම මිතුරිය වන අශෝකා කුමාරි (කුමා) මහත්මිය පැවසුවාය.
පසුගිය 16 වැනිදා මියගිය දිල්හානි ප්‍රනාන්දු (41) මහත්මියගේ දේහය පෙරේදා 18 වැනිදා පස්වරුවේ සිංගප්පූරුවේ මල් ශාලාවක තැන්පත් කළ අතර එහි සිටින ලාංකිකයෝ ඇයට අවසන් ගරු බුහුමන් දැක්වීමට පැමිණියහ.
දේහය ඊයේ (19 වැනිදා) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු යොදා තිබූ අතර අද ලංකාවට රැගෙන ආ පසුව දේහය දංකොටුව නිවසට රැගෙන එනු ඇත.
0 Comments