මෝටර් රථයකින් පැමිණ යතුරුපැදියක ගමන්ගත් යුවලක් හප්පා ඝාතනය කිරීමට තැත්කළ බවට ලද පැමිණිල්ලක් මත පුද්ගලයන් තිදෙනකු අතුරුගිරිය මයිලන්ගම ක්‍රීඩාංගණය අසල දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියෙහි පිටුපස ගමන් ගත් කාන්තාවගේ එක් පාදයක් දෙකට කැඩීම නිසා බරපතළ තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ කාන්තාව ගණිකා වෘත්තියේ යෙදෙන බවට වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් යොදා අන්තර්ජාලයේ දැන්වීමක් පළකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ සැකකාර කාන්තාව අතුරුගිරිය ප්‍රදේශයට ගෙන්වා ඇය අන්තර්ජාලයේ පළ කර තිබූ ඡායාරූපයෙහි සිටි තරුණිය ද ගෙන්වා ද ප්‍රශ්න කිරීමේ දී තුවාලකාරිය යතුරු පැදියෙන් පලා යාම නිසා හප්පා නතර කිරීමට කටයුතු කළ බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් සිදුකළ පාපොච්චාරණයේ සඳහන් බව ද පොලිසිය පවසයි.
තුවාලකාරිය ගණිකා වෘත්තියේ යෙදෙන බවට දුරකතන අංකයක් සහ වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් සහිතව අන්තර්ජාලයේ දැන්වීමක් පළකර තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. එම ඡායාරූප සහිත දැන්වීම දුටු අදාළ තරුණියගේ පෙම්වතාගේ මිතුරකු සිදු කළ දැනුම්දීම මත පෙම්වතා විසින් ගණිකා වෘත්තීය සිදු කරන කාන්තාව සහ අන්තර්ජාලයේ පළ කර තිබූ ඡායාරූපයේ සත්‍ය හිමිකාරිණිය වන පෙම්වතිය ඇයගේ මව ද සමග අදාළ හෝටලය වෙත ගෙන්වා ඇත. ලද දැනුම්දීම මත මෙම තුවාලකාරිය තවත් පුද්ගලයකු සමග යතුරුපැදියෙන් පැමිණ ඇති අතර දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා මෝටර් රථයකින් තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ පැමිණ අදාළ දැන්වීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.
එහිදී දෙපිරිස අතර ආරවුලක් ඇතිවී ඇති බව පොලීසිය පවසයි. එම අවස්ථාවේ දී යතුරුපැදියේ සිටි දෙදෙනා පලායාමට උත්සාහ කිරීමේදී මෝටර් රථය ඔවුන් පසුපස හඹාගොස් හප්පා අනතුරට ලක්කර තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 21 හා 22 අතර පසුවන අතුරුගිරිය සහ හෝමාගම පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
කේ. බුද්ධික කුමාරසිරි
0 Comments